තෝමස්

Menaka Ashi Fernando
9 min readJun 12, 2022

මහනුවර ඉපදී එනුවරම පාසල් ගිය මා නිතරම සිතුවේ චිරාගත සම්ප්‍රධායානුකුලව මටත් කවදා හෝ අපේ අසල්වැසි ත්‍රිත්ව විද්‍යාලයේ උත්තමයෙක්ගේ ගෙපිලක බින්න බැහීමට සිදුවේය කියලය. කොහෙද මේ දෛවයත් එක්ක මොකුත් ප්ලෑන් කරන්න බැහැ නේ! කොහොම කොහොම හරි අනන්ගයගේත් ෆුල් සපෝට් එක ඇතුව, කිසිදා නොසිතු ලෙස මා බින්න බැස්සේ ගව් ගානක් දුර කොලොම්පුරේ ‘මුහුද ආසන්න පාසලේ’ උත්තමයෙක් සමගය.

මේ උත්තමයන් මා මෙහි (ලෙහෙසියට) හඳුන්වන්නේ තෝමස්ල කියාය.

මගේ තෝමස් තුමා ආශ්‍රය කරන්න අරන් ටික දවසකින් වෙච්ච සිද්ධියකින් මා තුෂ්නිම්භූත වුනෙමි. නුතන භාෂාවෙන් කියනවනම් ‘ෆුල් හොල්මන්’ වුනෙමි. වැල්ලවත්තේ නිතරම තම දරුවත් සමඟ ගැවසෙන ගණිකාවක් දෙසට නෙත් යොමු කල ඔහු “අයි ෆීල් වෙරි සොරි ෆෝ දැට් ලේඩිස් චයිල්ඩ්” කීවේය. මොකක්? පාරේ නිකන් යන කාන්තාවත් ගණිකාවන් ලෙස හංවඩු ගසන සමාජයක් තුල ගණිකාවකට ‘ලේඩි’ කියනවා අහුවාමය! එවෙලේ අපේ තෝමස් තුමා ගැන මගේ හිතේ ඇතිවුනේ ලොකු ගෞරවයකි. එතැන් පටන් ලැබෙන සෑම අවස්ථාවකදීම මා තොමස්ලා අධ්‍යනය කරන්න පෙලඹුනෙමි.

මෙය ලියන්න සිතුවේ, අවුරුදු ගණනාවක් වයස 20–80 අතර තෝමස්ල ‘ක්‍රොස් සෙක්ෂන්’ එකක් අධ්‍යනය කරලය. මෙහි සඳහන් වෙන්නේ ‘සමස්තයක් වශයෙන් ගත් කල’ හැසිරීම් රටාවය. ඩී එස්ල, බණ්ඩාල වගේ ප්‍රභූවරු, එතකොට මේ මෑතකදී නොබෙල් ත්‍යාගයක් දිනපු පෙත්තප්පු අංකල් මෙන්ම, අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල අයිති බුවා, එතකොට අර ආත්ම ගානක් හිනාවෙලා නැති මුස්පේන්තු ජිං පප්පා, තව අර ගඟට කොවිඩ් මුට්ටියක් හලපු ගොබිලා වගේ අපිට ආතල් දුන්න පොරවල් කිහිපයකුත් බිහිවුනේ මෙම පාසලෙන්මය. පත්තිනි සළුවලත් තුත්තිරි එකක් දෙකක් තියනවලු නේ!

තොමස්ලා සමාජයේ නිතරම වරදවා තේරුම් ගත පුද්ගලයන් කොටසකි. ඊට හේතුවන්නේ මෙරට ඉංග‍්‍රීසි උගත් ප‍්‍රභු පරම්පරාවේ පාසලක් බව සැලකෙන ‘මුහුද අද්දර’ පාසලේ අකුරු කරන සියලුදෙනා ටයිකෝට් අඳින පළඳින ප‍්‍රභුවරු පිරිසක් යැයි ඇති වැරදි වැටහීමය. මා හඳුනන තෝමස්ල මේ නිරුපණයට හාත්පසින්ම වෙනස්ය.

ඇත්ත. ඕනෑම කාළගුණයක නොවරදවා ටයි කෝට් පළඳින සෙට් එකක් අපි කව්රුත් දන්නෙමු. ඒත් තෝමසලා ටයි කෝට් පළඳින්නේ, නැතුවම බැරි අවස්ථාවක, අනිවාර්යෙන්ම උචිත නම් පමණය. ඒකත් දහසක් මැසිවිලි නගමින්ය. නමුත් යතාර්ථයේදී තොමස්ලා ගත කරන්නේ ඉතාමත් සරල ජීවිතය. පරණ තොමස්ලගේ ජාතික ඇඳුම සරම-බැනියමය. තරුණ තොමස්ලගේ ශෝට-ටී ෂර්ට් එකය. රබර් සේරෙප්පු කුට්ටම අනිවාර්යය. බොහෝ දෙනා මොන ආගමකින් මතුවුණත් අනුගමනය කරන්නේ මැදුම් පිළිවෙතය. ඉර හඳ පායන ලෝකේ සැප දුක තුලනාත්මකව ගෙන යන ශෛලියෙන් තෝමස්ලට මිදෙන්න බැරිය.

රැකියාව

විවිධාකාරය. මහා පරිමාණයෙ බිස්නස් කරන්නාගේ සිට කොහේ හෝ රජයේ මේසෙක තැප තැප ක්ලාක් වැඩක් කරන තෝමස් දක්වා සමාජයේ තෝමස්ල නැති තැනක් නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු, වෛද්‍ය, නීතිඥ, අධ්‍යාපන, ගුවන් යන මෙකි නොකී සෑම ක්ෂේත්ර්යකම වගකිවයුතු නිල තනතුරු දරණ තොමස්ලාගේ සිට කොහේ හෝ නැටුම් පන්තියක් කරන තෝමස් හෝ හන්දියේ ෆාමසියේ බෙහෙත් කලවන් කරන තෝමස් දක්වා මොන තරාතිරමක රැකියාවක් වුනත්, එය දැඩි කැපවීමකින් කිරීමට තොමස්ලට ඇත්තේ පුදුම හැකියාවකි. රටේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්නට තොමස්ල මැලි වන්නේ නැත.

“මොකක්ද රස්සාවක තියෙන හොඳ නොහොඳ? රස්සාවල් ඔක්කොම එකයි..” යනු ඔවුන්ගේ මතයයි.

මට හමුවී ඇති අඩුම තනතුරක් දරන තෝමස් තුමා පවා ඉතාම උසස් දැක්මක් සහ දැනුමක් තිබෙන මහත්මයෙකි. ඔහු කීල්ස් සුප මාකට් එකක සුපවයිසර් කෙනෙකි. ජාත්‍යන්තර ආර්ථිකය, දේශපාලනය, මානව සබඳතා ගැන ඔහු නොදන්නා කෙහෙම්මලක් නැත. නිකමට වාගේ මා ඔහුගෙන් ඇහුවේ “Are you by any chance a product of the school by the Sea?” කිරි ගහට ඇන්න වගේ හරිය!

අද ලෝකේ ලොකුම ඔබ්සෙෂන් එක සල්ලි නිසා, කරන කියන සෑම දෙයක්ම සල්ලි වලටම යටත් වෙලාය. ඒත් තෝමස්ල මුදල් පස්සේ හඹා යන්නේ නැත. පකුම් බකුම් තාන්න මාන්නත් වැඩක් නැත. ලැබුනොත් කමක් නැත. ලැබුනේ නැත්තං වඩාත් හොඳය. කිසි දිනෙක තම ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය උදෙසා සිල්ලර වැඩ කරන්නේ නැත. රැකියාවක දී තෝමස්ල බලන්නේ ජීවත්වෙන්න සෑහෙන පඩියක් ලැබෙනවද? චෙක්. නිදහසේ වැඩ කරන්න හැකිද? චෙක්. පෙන්ෂන් යනකං පැලපදියන් වෙන්න පුළුවන් තැනක්ද? චෙක්. ඉන් එහාට සේරම ඔප්ෂනල්ය.

විශ්‍රාම ගියාට පසුවත් ඔවුන් රැකියාව කල ආයතන නැවතත් තොමස්ලා වැඩපලට ආරාධනා කරන්නේ, ඔවුන්ගේ විනය ගරුක බව නිසාත්, අවංක සහ සාධුගුණය නිසාත්ය.

රැකියාවේ මුදුන් හිණිපෙතට නගින්නේ ඍජු රේඛාවක දිගේද, දහඅට වංගු පසුකරද, අදාළ නැත. මොන තරම් ඉහල රැකියාවක් කරත් තමා පොරක් කියා පෙන්වීමට පම්පෝරි දාන්නේ නැත. දුක් ගැහැට මැද ජයකණුවේ ඉහළටම නැග්ග කෙනත්, තමා දුක් ගීයේ සිට පොප් ගීය දක්වා ගිය ගමන ගැන හොටු පෙරෙන රචනා ලියන්නේ නැත.

අප හඳුනන බහු කෝටිපති ව්‍යාපාරික තෝමස් කෙනෙක් ඉන්නේ සතේ අතේ නැති ගානටය. ඔහුගේ මහා ව්‍යාපාර භුමිය තුල ඔහු සැරිසරන්නේ හඩු කිට් එකක් ඇඳගෙන අනිත් මිකැනික් සේවකයන් වගේමය. ඒ ඉන්නේ තමාගේ හාම්පුතා බව ඔහුගේම සේවකයන්, නොදනී. ඔහු බොල්ගොඩ ගඟ අසලට වී අයිරාවෝ කකා දුක සේ සැප විඳින උත්තමයෙකි.

(අපේ අම්මා නම් මෙය වර්ගීකරණය කරල තියෙන්නේ පවට පිං දෙන්න බැරි සීන් එකක් හැටියටය)

නිවස

තෝමස් ගේ නිවස කැදැල්ලකි. බොහෝ දෙනා තමන් කුඩා කළ පටන් විසු පරණ නිවසේම තවමත් වාසය කරයි. පෙළක් තෝමස්ලට මාලිගාවල් තිබුනත් සමස්තයක් වශයෙන් ගත් කල බොහෝ දෙනා පදිංචිව සිටින්නේ තරමක් පැරණි නිවාස වලය. මා හඳුනන වෛද්‍ය තෝමස් කෙනෙකුගේ නිවසේ වහල අවුරුදු ගාණකින් රෙපයාර් කරළා නැත. හයියෙන් වහින දාට ලීක් වෙන තැන් වලට මුට්ටියක් හෝ බාල්දි තබා දුවන්නේ පොත් ටික බෙරිලාද කියා බලන්නය. මොනා නැතත් පොත් කාමරේ (ස්ටඩි) නම් අයහපත් දේශගුණයෙන් සුරක්ෂිත කර ඇත.

බොහෝ ගෙවල්වල් විදුලි පංකා හැත්තෑව දශකයේ ඒවාය… ඒ කිව්වේ අර ස්විච් එක ඕන් කරනකොට ඩ්‍රන් ඩ්‍රන් ඩ්‍රන් ගාමින් කැරකෙන ඒවාය. හුඟක් නවීන ගෙවල් වුනත් පමණට වඩා දිලිසෙන්නේ නැත. බොහෝ තෝමස්ල තම ගෙවත්තේ අවශ්‍ය එළවලු වවාගෙන ඇත.

තෝමස්ලට අලුත් සල්ලි නැත. තෝමස් පවුලක් බොහෝ විට නඩත්තු වෙන්නේ තනි පඩියකිනි. ඒ, රැකියාවක් කරන තෝමස් අඹුව ටිකක් දුර්ලභ ඝනයට අයිති නිසාය. ඉතින් රාජකාරී කර අහවර වූ පසු තෝමස්‌ල වඩින්නේ ඔවුන්ගේ මේ කැදැල්ලටය. එතුල තම ළබැඳියන් හා එක්ව කාලය ගත කරති. ගෙදර ආවට පසු දුරකතනය පසුපස දුවන්නේ නැත.

බොහෝ විට හුදකලාව පොතක් කියවීමට හෝ ලිවීමට ඔවුන්ගේ කුටි තුලට රිංගන්නෙ, නයා හුම්බහා තුලට ලිස්සන්නා සේය. තරුණ තෝමස්ලත් බොහෝ විට තම කැදැල්ලට විත් හැසිරෙන්නේ ජීවිතේ සැන්දෑ සමය ගත කරන්නන් අනුකරණය කරමින්ය. ඒ තෝමස්ලාගේ හැටිය.

තෝමස්ලට තරු පහේ හෝටල් අරහන්ය. යන්නේ මගුලක් වැනි මගහරින්නම බැරි හේතුවකටය. සරමට බැහැල ගෙදර උයපු දෙයක් කනවා වගේ “ආතල්” එකක් නැත. අර කොලීජියේ බෝඩිමේ කාපු පරිප්පු සහ පොල්සම්බෝලේ තවමත් ප්‍රියතම ආහාරයයි.

වාහන

බොහෝ දෙනෙකුට ඇත්තේ ප්‍රායෝගික සරල වාහනය. පඩ ෂෝ නැත. පෙළක් තෝමස්ලා තවම යන්නේ 1 ශ්‍රී 2 ශ්‍රී 5 ශ්‍රී වැනි මොරිස් මයිනර් යුගයේ වාහනවලය. ඔවුන් වාහන ගන්නේ අවශ්‍යම නම් පමණක්ය. අනවශ්‍ය සුඛ විහරණ කතන්දර නැත. නමුත් ඔවුන්ගේ ප්‍රාඩෝ, V8, ජැගුවර් මිතුරන්ට ඉරිසියා කරන්නේ නැත. ‘ගුඩ් ෆෝ හිම්!” එච්චරය. තෝමස් තම වාහන කට්ටේ බොනට් එක ඇර බලන්නේ එන්ජිම තියනවාද? හරි. රෝද හතරේ හුළං ඇත්ද? හරි. ස්ටාර්ට් එකේ විනාඩි කීපයක් බ්රුන් බ්රුන් ගෑව — ගියා.

අප හඳුනන යෝධයෙක් සයිස් තෝමස් කෙනෙක් තවම යන්නේ ඔහුගේ 1970 ගණන් වල DATSUN රෝඩ්ස්ට්ර් වාහනේය. එහි වෙන කාටවත් යන්න බැරිය. ඔහු නැග්ගම වාහනේ ෆුල්ය. ෆ්‍රෙඩ් ෆ්ලින්ස්ටන් මෙන් ඔහු ගාලු පාරේ ඉගිලෙන්නේය. තෝමස්ලගේ වාහන නැවත විකිණිය නොහැක. ඒවා රිපෙයාර් කරමින් අවුරුදු ගානක් නිර්භයවම එලවන්න දන්නේ ඔවුන් විතරය.

භාර්යාව

තෝමස්ගේ ප්‍රේමකතාව ඔහුගේ බිරිඳය. බිෂප්ද, විසාඛාද, ලේඩීස්ද, අනුලාද අදාළ නැත. පොෂ්ද ගොඩේද අදාළ නැත. හිත ගිය තැන මාලිගාවය. තෝමස්ලා සෙනෙහෙවන්ත පිරිසකි. ඔවුන්ගේ දම්මිලා වෙන අතක් බැලුවත් මේ සුගත්ලා ඒ දම්මිල වෙනුවෙන්ම කැපවෙලාය. “ෆෝ බෙට ඕ ෆො වර්ස්” ය. කිව්වොත් කිව්වාය. අඹුව කොම්බුව වගේ වුනත් ඇයට ආදරේය. චාටර් අඹුවක් ලැබුනත් ඔහේ කට්ට කාගෙන ඉන්නේ කැදැල්ල කිසිසේත් අප්සෙට් නොවන්න වග බලාගෙනය. ඉතින් ජීවිත හානියක් හෝ මානුෂික අයිතිවාසිකම් උල්ලංගණය වීමක් වගේ බරපතල අවස්තාවක හැරෙන්න කිසිම විටෙක ඩිවෝස් නම් වෙන්නේ නැත. “අනික ඔය උසාවි ගානේ රස්තියාදු වෙන්න කාටද වෙලා තියෙන්නේ?” තෝමස් මතයයි. ඒ හන්දා, සම වැදී උන් දැහැන් ඉඳ හිට බිඳුනත්, යු ටර්න් එකක් දමා, නැවත තම ප්‍රියම්බිකාව වෙතටම එන්නේ ඇය සමඟ ජීවිතයේ දුක සැප බෙදාගෙන බැඳගත්ත බෙරේ ගහන්නය.

තෝමස් චරිතය

බොහෝ විට වැඩිහිටි සරීරයක ලැගුම් ගත් නොමේරු ළදරුවෙක් මෙනිි. හෙම්බිරිස්සාවක් හැදුනත් මරණාසන්න ලෙඩෙක් මෙන් හුස්ම අදින්නේ වැඩිපුර අටෙන්ෂන් ලබන්නය.

තෝමස් චරිතය දැඩි මතභේදයට හේතුවෙන කරුණු පිළිබඳව දොඩනවා බොහොම අඩුය. අනික් අය විවේචන අඩුය. අනුන්ගේ දේවල් හොයන්නේ නැත. පරණ පුටුවක වකුටු වී පොතක් කියවන තෝමස් කෙනෙක් නෙත ගැටෙන බොහෝ දෙනා වරදවා සිතන්නේ ඔවුන් අලස පිරිසක් ලෙසය. නැත. මේ හැසිරීමට සම්පුර්ණ හේතුව තොමස්ලාගේ ජානවල තියන සුවිශේෂී DNA එකකි. ඒ කිව්වේ කිසිම දෙයක් පඩේකට ගණන් ගන්නැති අණුක ව්‍යුහයය. සමහර බුවාලා ප්‍රිතිවිය උන්ගේ පුද්ගලික බූදලයක් වගේ පෙන්වා සෝබන දානකොට, තෝමස්ල ඉන්නේ “ඉතින් අපිට පාන්ද?” ගානටය. තෝමස් ඉන්නේ වෙනම ඩයිමෙන්ෂන් එකකය.

මෑතකදී ලංකාවේ ලාබාලම ආචාර්ය උපාධිදාරීන් තිදෙනෙක් මුහුද අද්දර පාසලෙන් බිහිවිය. කව්රුත් දන්නෙ නැත. ඔවුන් යුරේකා යුරේකා කියා ෆුල් නේකඩ් දුවන්නේ නැත. ජයග්‍රහණය සැමරීමේ සාද නැත. තිදෙනාම වැඩි ආදායම් රැකියා හලා නැවත ලංකාවට ආවේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න ඕන කියාය. ඒ කිව්වේ යාල පැත්තේ ගිහින් දිවියෙක් එක්ක සෙල්ෆියක් ගහල, මැණික් ගඟෙන් නාල ලබන තෘප්තිය සල්ලි විතරක් උපයලා ලබන්න බැරි බවය.

(සැ යු: අර සුප්‍රීම් සැට් රොකට් චිචී මෙම තිදෙනාගෙන් කෙනෙක් නොවන බව මෙහිදී අවධාරණය කල යුතුය )

අනෙක් කාරණය නම් තෝමස්ලා සතු ඉවසීමේ ගුණයයි. බොහෝ තෝමස්ල විවේචනයට, උපහාසයට, අපහාසයට ලක් කලත්, මහමෙරට හුළං නැත්තාක් මෙන්, මහමේරු පර්වතය මෙන්, සියල්ල දරා සිටිමේ හැකියාව ඔවුනට ඇත.

ආගම ධර්මය

කුමන ආගම් ධර්ම ඇදහුවත් තෝමස්ල එකම රංචුවක්ය. බෞද්ධ ධර්මයට ළැදි අය පන්සල් යති. සමහරු සිල් සමාධන් වෙති. කිර්ස්තියානි සහ මුස්ලිම් තෝමස්ලා පල්ලි යති. හින්දු තෝමස්ලා කෝවිල් යති. එත් මේ සියල්ලම කරන්නේ ගානටය. බෝඩ් එල්ලගෙන, වාහනවල ස්ටිකර් ගහගෙන පිස්සු කෙලින්නේ නැත. සිල් සමාධන් වී අහවර වුනු බෞද්ධ තෝමස් කෙනෙක් තමාගේ වාහනේට කඩි මුඩියේ නගින්නේ, “දැන් චැපල් එකේ ක්වයර් ප්‍රක්ටිස් යන්න තියනවා” කියාය. මා හඳුනන දමිල ක්‍රිස්තියානි තෝමස් කෙනෙක් ඕ ලෙවල් විභාගයේ බුද්ධාගමට ඩිස්ටින්ක්ෂන් එකක් ගත්තේය. පසු මනසින් යුත් මා වැනි මානවයින්ට මෙවැනි බහු සංස්කෘතික ජවනිකා ෆුල් හොල්මන්ය.

කලකට ඉහතදී අර ධර්මපාල උන්නැහේ මෙම පාසල් භුමියේ ‘ජාති ආගම් භේද’ පිස්සුවක් කෙලින්න ගත් කල, එවකට හිටිය තෝමස්ල ඔහුව හීලැ කරගත්තේ, අවෛරයෙන් වෛරය සංසිදු වන ආකාරය ඔහුට පහදා, තොත්තුවකුත් දීලය.

ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගනිමින් තෝමස්ලා එකිනෙකත් සමග මුහුවන්නේ හදවතින්ය. සියලු ආගමික උත්සව සමරන්නේය. ඔවුන්ගේ දර්ශනය, අදහස්, සිතුවිළි, සමහර සංවර්ධනය වු රටවලවත් නැත. කිසිම තෝමස් කෙනෙක් මොනම ආගමකට මුවාවී හෝ අන්තවාදී අදහස් පතුරුවන්නේ නැත.

කතා විලාසය

තෝමස් කෙනෙක් බොහෝ විට හඳුනාගත හැක්කේ ඔවුන්ගේ කතා විලාසයනි. අවස්ථාවෝචිතව කතා කිරීමට ඔවුනට විශිෂ්ට හැකියාවක් ඇත. එල්ලෙන්න වැලේ වැල් නැති දුප්පත්ම තෝමස්ටත්, ඉතිහාසය , සාහිත්‍යය, කලාව වැනි විෂයන් ගැන තිබෙන්නේ ඉහළම දැනුමකි. මා හා දොඩමළුවූ, බීමට ඇබ්බැහි වූ නාස්තිකාර තෝමස් කෙනෙක් මා හඳුනාගත්තේ ඔහු ඉංග්‍රීසි බස උච්ඡාරණය කරන විලසිනි. ලෞකික සියලු දේ නැති බංගස්තාන කරගත්තත් ඔහු ප්‍රාඥයක් යයි මට සිතුනි. එම සංවාදයෙන් උපුටා ගත් හරබර වැදගත් කරුණු කිහිපයක් මා මානසිකව සටහන් කර ගතිමි.

සමහර තෝමස්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ වියුණු විද්වතුන්ය. ඔවුන් බොහෝ විට විවාදයකින් වට්ටන්නට බැරිය. සමහරු ශේක්ස්පියර් වමාරන්නෝය. “ශේක්ස්පියර් උන්නැහේ අපේ තොමස්ලගෙන් ඉගනගත්තා වත්ද?” මට සිතුන වාර අනන්තය.

සමහර තරුණ තෝමස්ලා කට නිසාම ඉදිරියට ගිය, එස්කිමෝ වරුන්ට ශීතකරණ විකුණන සෙට් එකය. සංකීර්ණ ටෙක්නිකල් වැල් වටාරම් සහ සාමාන්‍යයෙන් භාවිතා නොකරන ගැඹුරු වදන් වමාරා කොහොම හරි වැඩේ කරගන්න ප්‍රවීණයෝය.

පාසැල සහ ගුරු භක්තිය

තොමස්ලගේ ගුරුවරු සෙකන්ඩ් වෙන්නේ මව්පිය සෙනෙහසට පමණය. කොච්චර අනවර්ථ නම්වලින් බෞතීස්ම කලත් සෑම ගුරුවරයෙකුටම තොමස්ලා පැලෙන්න ආදරේය. සාරවත් සිසිල් සඳ එලිය මෙන් තෝමස්ලගේ ජීවිතවලට ආලෝකයක් වුන පොල් ටොක්ක, කොප්පරයා, කොක් කරි, කොටි විල්සන්, පාන්කාරයා, පීරයියා යන මෙකී නොකී ගුරු උතුමන්ලට තෝමස්ලා මැරිලත් පැයක් ආදරේය. ඔවුන්ගේ යහපත් පැවැත්ම යතාර්ථයක් කලේ එතුමන්ලාය.

බොහෝ දෙනා සිතැන පරිදි මුහුද අද්දර පාසල තියෙන්නේ ලොකු මිනිස්සුන්ට විතරක් නොවේය.. හැම ශිෂ්‍යයෙක්ම ධනවත් පවුල්වල ළමයි නොවේ. බලවතුන්ගේ පුතුන් මෙන්ම දුප්පත් ළමයින්ද මෙහි සාමාන්‍ය විදියට අධ්‍යාපනය ලබා හිස් කබල තුල පිහිටි මොළය නම්වූ අවයවය භාවිතා කරන්න වරම් ලද්දෝය. උදේට තම දරුව ප්‍රාඩෝ එකෙන් බස්සන ඩෑඩාගේත්, ස්කූටි එකෙන් බස්සන අම්මගේත්, පුෂ් සයිකලෙන් බස්සන සීයගේත්, නෙත ගැටෙන්නේ ගේට්ටුව තුලින් ඇතුල්වෙන පැටව් ටික වතුරට දැම්ම අයිස් කැට මෙන් මුසුකරණය වෙන හැටිය.

“There is something about a Thomian” කව්දෝ කියනවා ඇසුනි.

භාෂා අනුග්‍රහය: අරිසෙන් අහුබුදු. ගුණපාල පියසේන මලලසේකර. සෝමපාල ජයවර්ධන.

නූතන සිංහල ව්‍යවහාර අනුග්‍රහය : මොරටුව විශ්වවිද්‍යාල ‘සෙට් එක’

කතෘ — අදාළ නැත.

--

--