පුංචි කතා

Menaka Ashi Fernando
20 min readMay 4, 2024

ටාසන් අයිය

අපේ අල්ලපු ගෙදර ඇනෙක්ස් එකේ හිටිය කෙහෙල්පන්නල කියල අන්කල් කෙනෙක්. අන්කල් කෙහෙල් විතරක් නෙවෙයි පන්නල තියෙන්නේ ..ගෙදර වැඩට හිටපු රාණිවත් පන්නල,.. ඒ දවස්වල නුවර පළාතේ හෙන ජරමරේ ලු …

ඉතින් පවුලේ ඇරියස් පියවගන්න අංකල්ව කෙලින්ම ගෙදරින් පන්නල.. ෆැමලි එකෙන් ඩිලීට් කරලා.. ඩිලීටඩ් අයිටම්ස් එකෙනුත් එයාව මකලයි එයාගේ මහගෙදර උන් නතර වෙලා තියෙන්නේ

පන්නල අන්කල්ගෙයි රානි අන්ටිගෙයි එකම පුත්‍ර රත්නය ටාසන්. ටාසන් එයාගේ ඇත්ත නම නෙවෙයි ..හැබැයි ඕනෑම වෙලාවක බැලුවොත් ඌ කොහේ හරි ගහක අත්තක එල්ලිලාමයි ඉන්නේ .. ඒ නිසා ලේන් එකේ ඌව දන්නේ ටාසන් කියල.

දවසක් මම ටියුෂන් ඇරිලා එනගමන් දැක්ක ටාසන් අයිය පාර අයිනේ ජෑම් ගහේ අත්තක එල්ලිලා, අනිත් අතින් පොත් ටික බදාගෙන, කවුදෝ ගැටිස්සියෙක්ගේ බෙල්ලට ආශ්වාස ප්‍රාස්වාස කරනවා වගේ … කිට්ටු කරලා බැලින්නම් “ඕ-ඇම්-ජී” උන්ගේ ගෙදර වැඩට ඉන්න ලුසියත් එක්ක ටාස හෙන ලව් සීන්!

️මම කඩි මුඩියේ ගෙදර ඇවිත් අපේ අම්මට සම්පූර්ණ විස්තරේ කියල කට ගන්න හම්බුනේ නැහැ මෙන්න අපේ මෑණියන්ද හැරෙන තැපෑලෙන් ගිනි පෙනේල්ලත් උස්සන් අල්ලපු ගෙදරට ගිහින්!

හප්පේ ඉතින් රාණි ඇන්ටි අත් දෙක පපුවට ගසාගෙන, ඇස් උඩට කරකවල, ඇස්මටික් කාරය වගේ හුස්ම ඇදල සෑහෙන තාත්වික රඟ පෑමක නිරත වෙන හැටි මමත් බලන් හිටිය.

ඔන්න පැයකින් විතර ටාසන් අයිය එනවා. මම ඉක්මනට අපේ බාත්රූම් එකේ ජනේලේ ළඟට දිව්වේ අර ෆිල්ම් එක වැඩිපුර පේන්න ගැලරියේ ටිකට් ගත්ත එකෙක් වගේ.

“ආ උඹ ආවද? මෙහාට වරෙන් .. ඉස්කෝලේ ඇරිලා උඹ කොහෙද හිටියේ? කියපන් ඇත්ත .. මගේ යකා අවුස්සන් නැතුව “ රාණි ඇන්ටි ශුද්ධ හෙළ බසින් ආමන්ත්‍රණය පටන් ගත් සේක. ️

ටාසන්ගෙන් සද්දයක් නැත.

“මම.. මම.. මම උඹව ට්‍රිනිටි කොලේජ් යවන්නේ ගෙදර වැඩකාරිත් එක්ක පාරේ ගස් යට ජෝගි නටල අපේ මූනේ දැලි ගාන්නද?” ඇන්ටි දිගින් දිගටම වාචිකව ටාසන්ට නෙලුවාය

තම මවගේ රඟපෑම මනාව ඇනලයිස් කරමින් හිටිය ටාස එක පාරටම කියපි…

“ඉතින් අප්..පච්..චි ..කරපු දේ ..ම …තමයි ..ම..මත් කරන්නේ “

සකල බුජං පයිලට්

එදා ෆ්ලයින් (flying )නැති දවසක්. පෝය නිවාඩුව නිසා මම ගෙදර අස්පස් කරලා මිදුල අතුගාන්න ගත්ත. ටික වෙලාවකින් කාන්තාවන් තුන් දෙනෙක් වාහනයකින් බැහැල අපේ ගේට්ටුව ලඟට ආව. (අපේ ගෙදර තිබ්බේ රත්මලාන ගුවන් තොටුපොල අයිනෙමයි. හැන්ගර් එක ඒ කිව්වේ ගුවන් යානා ගබඩා කරලා තියන තැනට පයින් යන දුරක් තිබ්බේ — ඒ කිව්වේ අඩි පනහක් විතර)

මම ඇහුව “යේස් කැන් අයි හෙල්ප් යු “ (yes? can I help you)?” කියල.

එක ඇන්ටි කෙනෙක් ඇහුව එයාගේ දුව ‘ටෙහානි’ව ෆ්ලයිට් එකක ගෙනියන්න ගුවන් යානයක් පිළියෙළ කරලා දෙන්න පුලුවන්ද කියල. මම කිව්වා එදා නිවාඩු දවසක් නිසා පයිලට්ලා කව්රුත් නැහැ කියල. එත් ටෙහානිගේ මූණ දැක්කම දුකකුත් දැනුණා.

ඉතින් මම කිව්වා “කමක් නැහැ මට පුද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් තියනවා ..ඉතින් මම ඔයාව ෆ්ලයිට් එකේ ගෙනියන්නම් කියල”. ඇන්ටිලා දෙන්නගෙම ඇස ටිකක් වගේ උඩට ගියා.

ඉදලත් පැත්තක දාල ඇඳන් හිටපු ඉරිච්ච කොට කලිසමයි රබර් සෙරෙප්පු දෙක පිටින් මම ටෙහානිව අපේ පුංචි සීට් හතරේ පයිපර් ගුවන් යානයට නග්ග ගත්ත. ඒ දවස්වල අපි යුනිෆෝම් ඇන්දේ නැහැ. හැමෝටම වගේ යුනිෆෝම් වෙනුවට තිබුනේ ඩෙනිම් කට්ටක්.

ගුවන් ගත වෙලා මමයි ටෙහානියි පැයකට වඩා උඩ කැරකි කැරකි හිටිය. පෙට්‍රල් කට්ට බහිනකම්ම ඔහේ නන්නත්තාරේ එහාට මෙහාට ෆ්ලයි කරා. ටෙහානිගේ ඉස්කෝලේ ශාන්ත බ්‍රිජෙට් කන්යරමේ උඩින්, කොළඹ කොටුව පැත්තේ, ගල්කිස්ස හෝටලේ උඩින් ටෙහානිට බලන්න ඕන තැන් සේරම උඩිං පියාසර කරා. (ඒ කාලේ ඕනෑම කෙනෙකුට ගුවන් යානයක් කුලියට අරන් මේ වගේ රස්තියාදු ගහන්න පුළුවන්)

ගොඩ බැස්සට පස්සේ ඇන්ටිලා දෙන්නම කලන්තේ හැදිලා වගේ තැන්ක්යූ කිව්වා.

ඒගොල්ල ගියාට පස්සේ මට ටෙක්නිෂන් මාම කිව්වා ඇන්ටිලා දෙන්නම හොඳටම බයවෙලා හිටියේ කියල. ඇහුවලු මම කව්ද කියල. මාම කිව්වලු මම ගුවන් නියමුවෙක් කියල. ඇන්ටි එතකොට ඇහුවලු එහෙනම් මොකද එයා “සකල බුජං” කෙනෙක් වගේ කොට කලිසන් ඇඳන් ෆ්ලයි කරන්නේ කියල. මාම කිව්වලු එදා නිවාඩු දවසක් නිසා වෙනද අඳින ඩෙනිම හෝදන්න දාන්න ඇති කියල.

ටෙක්නිෂන් මාම කිව්වා ඒ අය කතෝලික ලු. ඉතින් යානය ගොඩබහිනකන් නොනවත්වාම යාඥා කරාලු .

එදා ඉඳන් මාස ගානක් යනකන් මට කිව්වේ සකල බුජං පයිලට් කියල.

ගුවන් සේවිකාව

ගුවන් සේවිකාව. ඒ මගේ පලවෙනි රැකියාව. ඊට කලින් වැඩ කරපුව අයිති වෙන්නේ ‘ළමා ශ්‍රමය’ යටතේ නිසා අපි දැනට ඒවා දැනගන්න ඕන් නෑ වගේ ඉමු.

ඉතින් ඔන්න අපිට එයා ලංකා ගුවන් සේවයෙන් කිව්ව “ගැණු ළමයෙක් වුණාම නිතරම ෆෙමිනින් පෙනුමෙන් ඉන්න ඕනි” කියල. ඉතින් නීතියක් ගෙනාව සියලු ගැහැණු ළමයි ක්ලාස් එනකොට අනිවා සාරියක් ඇඳිය යුතුයි කියල.

මමත් ඔන්න ෆෙමිනිනිටි බේරෙන්න දෙන්නං කියල පටලොව ගත්ත සාරි කට්ටක්. ආයි මොකෝ බය වෙන්න දෙයක් යැ? අර මදුරි ඩික්සිට්ල ඕක පටලවාගෙන ගස් වටේ දුවන දිවිල්ලට ඔරොත්තු දෙනවනම් මට පන්තියට අඳින්න බැරි මොකෝ? මම මටම ලෙක්චර් කරගත්තෙමි.

අපේ ගෙදර සාරි අඳින කව්රුත් නැති නිසා මම අල්ලපු ගෙදර ඉන්ද්‍ර ඇන්ටිගෙන් එකක් ඉල්ලං, අර නුගේගොඩ පේමන්ට් එකේ විකුණන පතොරම් රහිත නිමි ඇඳුම් සාරි හැට්ටයක් (One size fits all) ඇඳල තමයි වැඩ කිඩ පෙන්නුවේ.

ඉතින් ඔන්න මම එදා ලතා වගේ බොහෝ දේවල් පතාගෙන සාරියත් ඔතාගෙන බම්බා ෆ්ලැට් එක ලඟට ගිහින් හිටන් උන්න ඊබට් සිල්වා ගොය්යගේ බස් එක එනකං.

අම්මෝ! අන්න බස් එක එනවෝ ! ෆුල්ම සැටිස් අප්පා.

මම ලහි ලහියේ බස් එකට නගින්න පලවෙනි පඩියට අඩිය තිබ්බ විතරයි මුළු සාරියම ගැලවිලා බිමට වැටුණ! ඒ කිව්වේ ඉනෙන් පල්ලෙහා සාරි කොටස පාරේ, මගේ කකුලක් බස් එකේ පඩියේ, පේමන්ට් එකේ එවුන්? හම්මේ!

රියදුරු මාම මං ගැන ගොඩාක් දුක් වෙලා ඉක්මනට මගේ ෆයිල් ටික ගත්ත. මම සාරිය බිමින් අහුලාගෙන, යාර හයම පපුවට තුරුල් කරන් බස් එකට නැග්ග. නැගල පිටි පස්සටම ගියා. අක්ක කෙනෙක් මට ඒක ආයිත් පටලවගන්න උදව් කරා.

බලන්න ඉතින්? මේ ප්‍රීතිවියේ බවලතුන් කොච්චර හිටියත් සාරි ප්ලීට් වලට අනිවා කට්ටක් ගහන්න ඕනි කියල කියාදෙන්න කව්රුත් හිටියේ නැති හැටි! චැහ්

ෆීලින් ඕසම් විත් නිරිතදිග මෝසම්

‘පැත්තක් විජේ’ කියන්නේ ඉස්සර අපිත් එක්ක පියසරි පාසලේ හිටිය ‘පොර’කි. නිතරම තම බල පරාක්‍රමය ප්‍රදර්ශනය කිරීම සහ සෝභනය කලාවක් කරගත් පිකාසෝ කෙනෙකි. උන්නැහේගේ චරිත ලක්‍ෂණ ගැන නිබන්ධනයක් ලියත හැකිය. ඕනෑම වෙලාවක බැලුවොත් බුවා කන්නාඩියෙන් හැඩ බලමින් එතනින් යන හැමෝගෙන්ම අහන්නේ “මේ මේ මචන්, මගේ මේ පැත්තක් විජේ වගේ නේද?” යන්නය. ඒ කිව්වේ එයාගේ පැත්තක් ජනප්‍රිය නළු විජේ කුමාරතුංග වගේ කියාය. පන්තියේදීත් කවකටු පෙට්ටියේ පියනෙන් මුහුණ බලමින් අහන්නෙත් ඔය ප්‍රශ්නෙමය.

‘පැත්තක් විජේ’ රත්මලාන ගුවන් තොටුපොළට ඇතුල් වෙන්නේ බොහොම බරටය. තැනින් තැන පැලී කඩතොළුවූ තාර පොලොව (TARMAC) හරහා ශබ්ද නැඟෙන ලෙස බරට පියවර තබා සන්ග්ලාස් කුට්ටම පලදින්නේ කුල්ටුර් ලෙසය. ගුවන් හමුදාවේ රථයකින් ලිෆ්ට් එකක් ලැබුනොත් බුවා ඇවිදින්නේ පොළොවෙන් අඩි තුන හතරක් යට පේන්නය. ලෝකයාට පෙන්වන්නේ පයිලට්ලා විය හැක්කේ එයා වගේ ඩයල් වලට පමණක් බවය. කෙසෙල් ඇවරියක් තියේ නම් වඳුරෙකුට වුනත් ගුවන් යානයක් හසුරුවන්න උගන්වන්න හැකි බව කිවූ අපේ උපදේෂක තුමාත් එක්ක දවසක් පොරට නප්පෙට තදවුනේය. [Give me a bunch of bananas and I will teach a monkey to fly]

ෆ්ලයින් නැති දවස්වල ‘පැත්තක් විජේ’ කොළොඹ සුපිරි වෙළඳ සංකීර්ණවල, බර බර ‘ප්‍රොෆෙෂනල් පයිලට්’ ‘එයා නැවිගේෂන්’ ‘මිටිරිඔලොජි’ වැනි අච්චු පොත් කිහිල්ලේ ගහගෙන, බුවාගේ ලෑටි පුක කොහාට හෝ හේත්තු කරගෙන, රේ බෑන් සන්ග්ලාස් කුට්ටම අස්සෙන් කටාක්ෂ නිරීක්ෂණයේ යෙදෙන ජවනිකාව? කියල වැඩක් නැත.

අප්පේ ඉතින් මේ වගේ කන් කන් බුරුවන්ට රැවටෙන චීන් චීන් නෝරූ ගැටිස්සියෝ ඒ දවස්වල මැජස්ටික් සිටි, ලිබටි ප්ලාසාවල අඩුවක්ද නැත.

පැත්තක් විජේට ගුරුවරු උගන්වන දේ අවිනිශ්චිතය. ඒ දේවල් පිළිගත හැක්කේ අත් හදා බැලීමෙන් පසුව පමණය. දවසක් ඔහු ඉතා බයානක දෙයක් අත්හදා බලන්න අදහස් කළේය. නිරිතදිග මෝසම් සමයේ ඔහුට ඕන වුනේ ගිගුරුම් සහිත කුනාටුවක් අස්සෙන් පියාසර කිරීමටය. කව්රුත් එසේ කර නැත. ඔහුට පළවෙනිය වීමට උවමනාවිය.

කටේ කෙල සිඳෙනකන් උපදේශකවරු අපට කියා දීල තියෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇති ප්‍රදේශ වලට පියාසර නොකරන ලෙසත් බැරි වෙලාවත් එවැනි කුණාටුවක් ඈත දුටුවොත් නැවත හරවා එන ලෙසත්ය.

“පිස්සු බං ඕක ඔය සර් කියන තරම් සීරියස් වෙන්ට බැහැ, නැත්තං ඔය කියන විධියට හැමදාම ප්ලේන් ඇක්සිඩන්ට් වෙන්ඩ එපැයි. දැන් ඔය ලෝකෙ හැම වෙදර් පැටන් එකක් හරහාම ප්ලේන් යන්නේ!” ඒ උගේ මතයයි.

“පිස්සු වැඩ කරන්න එපා බං. ලොකු ජෙට්ලයිනර් පවා කුණාටුවකට අහුවුනාම තෙලේ බැදෙන පපඩම වගේ ගැස්සෙන හැටි දන්නවා නේ?” තවත් එකෙක් අවවාද දුන්නේය.

කිව්වා කිව්වා අහුවේම නැත.

ඉන්ක්වයරි එකෙන් හෙළිවුණේ යානය අඩි 600ක් විතර පහලට වැටුණු බවය. එක වතාවකදී එය උඩු යටිකුරු වෙන්නම ගොස්ය. ජීවිතේ බේරාගෙන නැවත රත්මලානට ආපු එකට නම් ගොබිලට ලකුණක් දුන්නට කමක් නැත.

ප්ලේන් එක නවත්තුවාට පස්සේ අපි හැමෝම එතෙන්ට දිව්වේ සපෝට් එකක් දෙන්නය. ඒත් ප්ලේන් එකේ දොර ඇරපු ගමන්, අම්මෝ ගන්දස්සාරේ බැරුවය! බුවාගේ කලිසමේ පැත්තක් තෙමිලය. සීට් එකේ ගන්නම දෙයක් නැත.

එදා ‘පැත්තක් විජේ’ ගේ සම්පූර්ණ කාඩ් එක “පැත්තක් චිකේ “ ලෙස වෙනස් විය

ඇරියදොරේ

හැත්තෑව දශකයේ ශ්‍රීමා ආච්චිගේ පාලනය කාලේ ඉම්පෝටඩ් බඩු ලංකාවට ගෙන ඒම සම්පුර්ණයෙන්ම තහනම්ලුය . ඒ දවස්වල “එයා සිලෝන්” ගුවන් නියමුවන් මොනවා හෝ පිටරටින් ගේනවානම් කස්ටම්ස් එකේ දෙවි කෙනෙක්ට බාර වීමක් වෙලා මිසක් කිසිම දෙයක් පිට රටින් ගේන්නේ නැතිලු. ගුවන් යානය ලෑන්ඩ් කරාට පස්සේ ෆුල් සර්ච් පාරක් දාන රටාවක්ලු තිබුනේ.

ඉතින් මෙදා ෆ්ලයිට් එක මාල දිවයිනට ගිහින් පරපෝෂිත ප්‍රභූ සෙට් එකක් හලලා රිටර්න් එන ගමන් කපිතාන්වරයා අලුත් බිත්ති ඔරලෝසුවක් රැගෙන එන්නේ කටුනායක අඩවියේ කස්ටම්ස් දෙය්යන්නාන්සේට භාරයක් වෙලාය. ඔන්න බාගයක් දුරදී එන ගමන් මෝස් කෝඩ් වර්ෂන් II හෙවත් ‘ස්වදේශීය’ කෝඩ් එකෙන් පණිවිඩේ ආවේ බාරේ වෙච්ච් දෙවියෝ හාපඩේ ගිහින් ඒ වෙනුවට ස්ටෑන්ඩ්බයි දෙවි කෙනෙක් ඇවිත් ඇති බවය.

“ඒයි බං දැන් මොකද කරන්නේ?” කැප්ටන් අනිත් ජොකියගෙන් අහුවෙය.

“අපි ඔරලෝසුව එලියට ඇරන් බොක්ස් එක විසික් කරමු” ෆ්ලයිට් එන්ජිනියර් කීවේය.

“ කොහේ විසික් කරන්නද බං? බොක්ස් එක පේනවනේ සර්ච් කරනකොට” දෙවැනි නියමුවා කිවේය.

තිදෙනාම විනාඩි කීපයක් නිහඬ විය.

“බන් මන් දන්නවා වැඩක්. අපි දැන් ඇප්රොච් [APPROACH] එකේ ඩිසෙන්ඩ් [DESCEND] කරනකොට අඩි 1000 රීච් කරාම, මචන් උඹ දොර ඇරලා බොක්ස් එක විසිකරපන්” ලොක්ක ෆ්ලයිට් එන්ජින්ර්ට කීවේය.

“නො ප්‍රොබ්ලම් “

කපිතාන් තුමා “ඇව්රෝ” [AVRO] ගුවන් යානය අඩි 1000ක් දක්වා පහතට ඩිසෙන්ඩ් කළේය. දෙවනියයි එන්ජින්ර් උන්නැහේයි කැබින් එකේ ඉස්සරහා දොර යන්තමින් ඇරගෙන බොක්ස් එක විසි කළේය. හප්පේ ඇති යන්තම්!

හරි. දැන් දොර ආපහු වහමු නේ? මොකක්?

“යකෝ දොර වහන්න බැහැ නේ!” දෙවෙනියා කොක්පිට් එක ඇතුලට ඔලුව දමා බෙරිහන් දුන්නේය.

“හරි බං උඹ මෙහෙ කොක්පිට් එක ඇතුලට වරෙන්. අරූට කියපන් දොර තදකරන් අල්ලන් ඉන්න කියල. අපි ඉක්මනට ලෑන්ඩ් කරනවනේ”

ඒ වගේ පරිප්පුවක් ජිවිතේට කාල නැති ෆ්ලයිට් එන්ජින්ර් අංකල්ගේ අත් දෙකේ ඇඟිලි ලොක් වෙලාය. උන්නැහේ පන එපා කියල ලෑන්ඩ් කරනකන් දොරේ එල්ලිච්ච එකට වීර වික්‍රම පඩික්කමක් වත් ලැබිය යුතුය.

එදායින් පස්සේ තුන්දෙනාගෙම කාඩ් වෙනස් විය. කපිතාන් ‘පෙරියදොරේ’, ෆර්ස්ට් ඔෆිසර් ‘සින්නදොරේ’ සහ ෆ්ලයිට් එන්ජින්ර් ‘ඇරියදොරේ’ ලෙස ප්‍රසිද්ධ විය.

ඔරලෝසුව තවමත් කපිතාන් උන්නැහේගේ ගෙදර කුස්සියේ එල්ලා ඇත. වැඩ කරන්නේ නැත. සුවනියර් එකක්ය .

ගංජා ගජේ

අසූව දශකයේ අග භාගය. අව් කාස්ටකේද , මොර සූරන වැස්සේද අදලා නැහැ. ඒ වංගියේ සතියේ දවස් හතම රත්මලාන ගුවන් තොටුපොළට බඩ ගාන සෙට් එකට මාත් සෙට් වුනා. ෆ්ලයින් නැති දවස්වල තිස්ස දෙවේල සීරී අන්කල්ගේ එයාපෝට් කැන්ටිමේ දනිස් ඇකෝඩියන් ගසමින් පල් හෑලි දොඩවන්න අනිවාර්යෙන්ම අපි එතන. ගුවන්පාලක මැදිරිය, කා පාක් එක, ඒප්‍රන් එක, පරණ ටෙනිස් ක්ලබ් එක, මේ සේරම අපේ සිරි අන්කල්ගේ ඒරියල් එක.

සිරී අන්කල්ගේ ගජ යාළුවා ගංජා ගජේ. එයාපෝට් එකේ සිකුරිටි. ගංජා ගජේ නිතරම සුස්තියක් කාරිය ඇදල සැපසේ දුක විඳින කෙනෙක්. උන්නැහේ කා අතරෙත් ප්‍රසිද්ධ උනේ කාගේවත් අතක් බලල සාස්තරයක් කියල සුස්ති වලට කීයක් හරි හොයාගන්න අහිංසකයෙක් හැටියටයි . වට පිට ඉන්න ‘වෙන්ට’ පයිලට්ලා සේරම වගේ ගංජා ගජේට අත පෙන්නලා අහන්නේ ‘පයිලට් වෙනවද නැද්ද “ කියන එක විතරයි. ඕනෑ වෙලාවක බැලුවොත් රොත්තක් වටවෙලා ඇටපල් කළුවර වෙනකං සාස්තර අහනවා.

ටිකක් වියපත් ගංජා ගජේ තම පැසුණු හිස ඉහළට පහළට සෙමෙන් සොළවමින් උන්නැහේගෙන් සාස්තර අහන ඕනෑම කෙනෙක්ට පොසිටිව් අනාවැකි දෙන්නේ කිසිදු සැකයකින් තොරවයි.

එදා 1988 ඔක්තෝබර් මාසේ 14 වෙනි සිකුරාදා ගංජා ගජේ මගේ අත දිහා ගොඩක් වෙලා බලන් හිටියා.

“මේ මම කියන එක හොඳට අහගන්න ඔක්කොමල. අද මේ ළමයා ඉර බහින්න ඉස්සරවෙලා, අනූනවයෙන් බේරෙනවා — මරුවාගෙන්”

“මොන විකාර කියෝනවද මන්ද” ගජේට බැන බැන අපි ඒප්‍රන් එකේ රේ විජේවර්ධන අන්කල් එයාගේ “තණකොළ පෙත්තා’ සැහැල්ලු ගුවන් යානය එහාට මෙහාට හසුරුවන හැටි බලන්න ගියා. පෙට්‍රල් ඉවරවෙලා නැවත හරවා එන රේ අන්කල් ගේ තණකොළ පෙත්ත ගාවට තෙල් කෑන් දෙකක් අරන් දිව්වේ අපි සුපුරුදු ‘පැනල සර්විස්’ හෙල්ප් කාරයෝ නිසාය.
නමුත් මෙදා පාර පෙට්‍රල් කෑන් එක දෙන ගමන් රේ අන්කල් මට “කම් ඕන් හොප් ඉන්” කිව්වේ මගේ ඇඟේ මයිල් ඉස්මයිල් කරමින්ය.

“මම යනවා රත්මලාන බීච් එක උඩින් ටෙස්ට් ෆ්ලයිට් එකක් කරන්න. ගෙට්‌ ඉන් ගෙට්‌ ඉන් “

මම අහල තියන විධියට රේ අන්කල්ගේ කුරුම්බැට්ටේ නගින්න බලාපොරොත්තු වන්නෝ “සියළු අපේක්ෂාවන් අත්හැර ගතයුත්තෝය” යන්නයි.

“නො ඉට්ස් ඕකේ සර්, අයි විල් කම් සම් අදර් ටයිම් ..අහ්ම්ම්ම්..” මම උගුර එහෙම ටිකක් විතර පාදල කාරිය හිතට ධෛර්යය ගත්ත.

“කමෝන් කමෝන් දෙයාර් ඉස් නො අදර් ටයිම්”

කාල වරෙන්කො!

පන ගැහි ගැහී තණකොළ පෙත්තගේ සීට් එකට නැගල සීට් බෙල්ට් දාන ගමන් ගජේගේ මයිල් කොයිල් සාස්තරේ මතක් වුනා අප්පා. ළය හිස්ව යන දිගු සුසුමක් හෙලල සීට් එකේ වාඩි වුනා, හපොයි බිම වාඩිවුණා වගේ.

සීට් බෙල්ට් එක තද කරගන්න ඉස්සර වෙලා මෙන්න බොලේ තණකොළ පෙත්ත “ටක ටක ටක, ටක් ටක් ටක්, ටකස් ටක්ස්, ක්‍රර්ර් ක්‍රර්ර්” කන් අඩි පුපුරන සද්දෙත් එක්ක ගැස්සී ගැස්සී ධාවන පතය පැත්තට යනවා! ඒ අස්සේ මම ඉක්මනට චෙක් කරලා බැලුවේ කුරුම්බට්ටේ කෑලි ගැලවීල බිමට වැටෙන්න තියන චාන්ස් මොනාද කියල.

“අම්මප රේ අන්කල්ගේ වයසේ හැටියටද මේ කුරුම්බට්ටේක්ට වහවැටිල, කොහෙවත් හිටිය අහිංසක මට වැඩ පෙන්නන්න හදන්නේ” කියල හිතනවත් එක්කම තණකොළ පෙත්ත ගුවන් ගත වුණා. නගිනවත් එක්කම හුලන් පාරට අපි අත්තිඩියේ හෙන්ට්ලි ගාර්මන්ට් එක පැත්තට පාවුණා. එත් එක්කම “කටස් කටස් කටස්” ගාල එන්ජිම නැවතුන. සෙනිකව රේ අන්කල් කව් බෝයි ඇක්ෂන් එකක් දාල ගාලු පාර උඩින් කරකවල ආපහු ධාවන පථය පැත්තට ග්ලයිඩ් කරලා ගොඩ බාන්න හදනවත් එක්කම අපි ලාවට හොම්බෙන් ගියා.

ගිනි නිවන හමුදාවේ මාමල දුවන් ඇවිත් අපව සීට් වලින් යන්තම් ගලව ගත්ත.

ප්ලේන් එකේ තට්ටක් කැඩිල, මගේ තට්ටම බිම ඇනිලා, හිරිවැටිලා, බෙල්ල උලුක්වෙලා. තව පොඩ්ඩෙන් සිසිටීවි දර්ශන ලබාගන්න වෙන්නේ පරලොවින්.

මෙදා පාර ගංජා ගජේ කිරි ගහට ඇන්න වගේ සාස්තරේ කිව්ව හැටි!

ඉස්ස ඇන්ඩ් බස්ස

ඒ දවස්වල අපේ පියසැරි පන්තියේ හිටිය ‘ඉස්ස’ කියල හිරිමල් වියේ හිරිවාතයක්. ඉස්ස කිව්වෙ බුවා සුදුම සුදු නිසාත්, කොන්ඩෙ තඹ පාට නිසාත්ය. ඉස්සගේ හොඳම යාළුවා ‘බස්සා’ ය. ඒ නම වැටුනේ ඌ ඕනෑ එකටයි එපා එකටයි හැම එකටම හ්ම් හ්ම් කියමින් හුම්මිටි තියන නිසයි. ඉස්සයි බස්සයි තකට තකය. දෙන්නම සුදෝ සුදු යුනිෆෝම් කමිස අඳින්නෝය. ඉස්සාගේ කලිසමේ තියුණු ක්‍රීස් එක රේසරයක දාරය වගේය. කමිසෙට ගහන රාවන කටුව බ්රාසෝ දාල මැදලය. බස්සත් එහෙමය.

ගුවන් හමුදාවේ හිටපු, 1956ට පෙර පාසල් ගිය ඉතාමත් කරුණාවන්ත ‘ඉංග්ලිෂ් ඔන්ලි’ වෝල්ටර් අන්කල් මේ ඩබලට දාපු නම ‘තොම්සන් ඇන්ඩ් තොම්සන්’ය. [ඒ කිව්වේ අර ටින් ටින් කාටුන් වල ඉන්න රහස් පරීක්ෂකවරු ඩබල]. වෝල්ටර් අන්කල් නිතරම ජීප් එක ස්ලෝ ඩවුන් කරල තරමක් කුතුහලයෙන් අහන්නේ “වෙයාර් ඉස් තොම්සන් ඇන්ඩ් තොම්සන් ටුඩේ ?” කියලය

ඉතින් පන්ති වැඩ ඉවරවෙලා ඔන්න දැන් ෆ්ලයින් පටන් ගන්න අපට අර සිවිල් ගුවන් සේවෙන් දෙන සුදු පාට ‘අයනු ආයනු’ ලයිසොන් එක ලැබුනා. එදා ‘ගුවන් නියමු බලපත්‍රය’ කියල රන් අකුරෙන් ලියු සුදු පාට ලයිසොම අතට ගත්තම ඉස්සාගේ ඉහේ මලක් පිපුන වගේ. එදා සවසම බුවා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අනාලි බලන්න ගියේ තනියට බස්සවත් එක්කරගෙන. අනාලි හිටියේ කොල්ලුපිටියේ ක්ලිෆඩ් පාරේ ලේඩිස් ඔන්ලි බෝඩිමකය.

“මේ මහත්තුරු කව්ද?” බෝඩිමේ ගේට්ටුවේ වීසා ඔෆිසර් අහනවා.

“අපි ගුවන් නියමුවරු. අනාලි මිස්ට වැදගත් පණිවිඩයක් දෙන්න ආවේ” සුදුපාට අයනු ආයනු බලපත්‍රය වීසා ඔෆිසර්ට පෙන්වා ඉස්ස කියනවා.

ගුවන් නියමු කියපු ගමන් වීසා ඔෆ්සර් පොඩ්ඩක් වගේ සරන්ඩර් වුනා.

“අනේ මහත්තයෝ හෙට උදේට එන්න. අපට කියල තියෙන්න රෑට ගේට්ටුව අරින්න එපා කියල නේ”

“මචං බස්සෝ, අපි එහෙනම් හෙට එමු “ ඉස්ස කියනවත් එක්කම බස්සට දිව්‍යඥානය පහළවුනා. ඩබල ප්‍රේමසිරි ස්ටෝස් එකෙන් පිටතට ආවේ පදමට සාන්ද්‍රණය කරපු වොඩ්කා ස්ප්‍රයිට් එක අතැතිවය.

“අංකල් ඇඟේ මහන්සිය යන්නත් එක්ක මේකෙන් ටිකක් ගන්න. අපි හෙට එන්නම්.” බස්ස වීස අන්කල්ට බෝතලේ දෙන ගමන් කියනවා. වැඩේ හරියටම හරිය. පැයකින් වීසා ඔෆිසර් කුදුරුක්ස්ය.

බස්සගේ පිට උඩින් ගේට්ටුව පැනපු ඉස්සා දැන් බෝඩිමේ මිදුලේය. වට පිටාව මීයට පිම්බවගේ කිසිම සද්දයක් නැත. ජනේලයකට නහය තද කර බැලුවම බබලත්තු සෙට් එකම අර ‘ගොන් දෙපැය’ වගේ එකක් බලනවා. හප්පච්චියේ ඒ වගේ ප්‍රෝග්‍රම් ඒ දවස්වල හෙනම පිස්සුවක් වගේ. එත් අනාලි පේන්න නැහැ නේ! හ්ම්ම්ම්. “උඩ එයාගේ කාමරේ වෙන්නැති” ඉස්සා හිතනවා.

ඉස්සා හෙමින් හෙමින් අයිනේ දොර අගුල චෙක් කරනවාත් එක්කම කව්දෝ ඇන්ටි කෙනෙක් එක පාරටම “ඕමයිගොඩ් ඕමයිගොඩ් ඕමයිගොඩ්, තීෆ් තීෆ්, හෙල්ප් හෙල්ප් හෙල්ප්” කියල යටිගිරියෙන් කෑ ගහන්න ගත්ත. මළ ජංජාලයයි!

ඉස්සට බබලත්තු ටික අම්බානක නෙලන හැටි බස්සා ගේට්ටුවේ සිදුරෙන් බලන් උන්නේ කිසිවක් කර කියා ගත නොහැකිවය.

පහුවෙනිදා උදෙන්ම අපේ පාසලේ උපදේශක තුමායි ඉස්සගේ තාත්තයි කොල්ලුපිටිය පොලිසියට ගියාම කුටිය ඇතුලේ එරමිණිය ගොතා ගෙන, දැඩිසේ කිලිටිවූ කමිස වල හොම්බ පිහ දාමින් ඩබල ඉන්නවලු.

සැලකිය යුතුය: අනාලි ඒ කාලෙම වෙන එකෙක් එක්ක දීග ගියා.

බස්සා හොඳ මිතුරෙක්. එයා අවස්තාව තිබුනත්, ඉස්සව හලලා මාරුවුණේ නැහැ.

ලපටි කපටි

ගුවන් නියමුවෙක්ගේ බලපත්‍රය වලංගු වෙන්නේ මෙඩිකල් එක වලංගු තාක් කල් විතරයි. බැරි වෙලාවත් මෙඩිකල් ෆේල් වුනොත් ආයි ඤංපචං මොකවත් බෑ. කෙලින්ම ගෙදර. ඉතින් අපේ පයිලට්ලා මෙඩිකල් එකෙන් ගොඩ එන්න නොකරන දෙයක් නැහැ! මෙඩිකල් ලන්වෙන්කොට වතුර ගැලුන් ගණන් බොනවා, කරපිංචා සම්බෝලේ කනවා, පිට්ටනි වටේ දුවනවා, වෙද ගෙවල් හොයා හොයා යනවා. එකී මෙකී නොකී සෑම උප්පරවැට්ටියක්ම කරනවා මෙඩිකල් එක ගොඩ දා ගන්න. ඔය අතරේ ඉන්නව සිරාවටම කට්ට වෙට්ටපිත්තල වෙච්ච ටික දෙනෙක්. අදට උදාහරණ ටිකක් කියන්නම්. නැත්තම් පොතක් ලියන්න වේවි

පළමුවෙනි සාම්පල් එක:

දවසක් මම මෙඩිකල් ගිහින් ඇස් චෙක් කරන කාමරේ වාඩිවෙලා ඉන්නවා. මගේ ළඟ ටිකක් වයසක පයිලට් අන්කල් කෙනෙක්. ඒ දවස්වල තිබුනේ අර අකුරු තියන බෝඩ් එක. අන්කල් බෝඩ් එක දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා. උන්නැහේගේ ට්‍රික් එක තමයි අර අන්තිමට චූටි අකුරෙන් තියන පේලි දෙක සුපිරියටම කටපාඩම් කරගන්න එක. ඔන්න දැන් ඇස් දොස්තරගේ චක් ගෝලය අඬගහනවා.

“කම් සර්. දැන් දකුණු ඇහැ වහල අන්තිම පේලියට උඩින් තියන පේලිය කියවන්න සර්.”

අන්කල් එක හුස්මට “එල්ඊඑෆ්ඕඩීපීසීටී” කියාගෙන යනවා.

“ඕකේ ගුඩ්. නව් රීඩ් ද ලාස්ට් ලයින්”

“පී- ඊ- ඉසෙඩ්- ඕ- එල්- සී- එෆ්- ටී- ඩී” අන්කල් සටපටසටපට ගාල කියාගෙන යනවා.

දොස්තරගේ ගෝලයට පුල්ම සැටිස් . “බලන්නකෝ නේද මිස්. අද තරුණ කෙනෙකුටවත් නැහැ ඔය වගේ හොඳ විෂන් එකක්”

දෙවෙනි කට්ටයා:

උන්නැහේට හෙනම දියවැඩියාව. අවුරුදු විස්සක් තිස්සේ තිබුණු දෙයක්. ඉතින් මෙඩිකල් ගියාම අර චූටි කුප්පියක් දෙනවනේ යුරින් දාන්න. ආන්න හරි! ඒ පොඩි කුප්පිය තමයි. ඉතින් අපේ කපිතාන් උන්නැහේට ඔය යුරින් කර කර ඉන්න වෙලාවක් නැහැ. එයා ඉතින් ටොයිලට් එකට ගිහින්, “ගෙදරින් ගෙනාපු” යුරින් ටික — ඒ කිව්වේ එයාගේ නෙමෙයි , එයාගේ පුතණ්ඩියාගේ මුත්‍රා ටික සයන්ස් එකට අර නර්ස් නෝනා දුන්නු කුප්පියට ට්‍රාන්ස්ෆ්ර් කරනව. දැන් ටිෂු එකක් අරන් වටේ හොඳට පිහ දානවා.

ෂා මාරම සැටිස්!

දැන් විසිල් පාරක් ගගහ නර්ස් ස්ටේෂන් එක පැත්තේ කැරකිලා බෝතලේ බාර දෙන්න විතරයි තියෙන්නේ. සිම්පල් ප්ලෑන් එකක්!

විශ්‍රාම යනකල්ම වැඩේ ගෙනිච්ච. විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙද්දී ලෙඩ සේරම පෙන්නලා මොකද්දෝ හුටපටයක් කරලා හෙන තඩි ඉන්ෂුරන්ස් එකක් ගත්ත.

තුන්වෙනි:

ඇම්ඩන්ගේ බාප්පාගේ පුතා.

ඩොක්ට කියනවා “ඕකේ කැප්ටන් දැන් හොඳ හුස්මක් අරන් විනාඩියක් අල්ලන් ඉන්න බලන්න”

බුවා ලොකු හුස්මක් උඩට ගන්නවා. අරන් හිමීන් සීරුවේ, ලාවට, පපුව හොල්ලන්නෙ නැතුව හුස්ම සුක්‍ෂම ලෙස පිටකරනවා. ඩොකා එයාගේ අතේ ඔරලෝසුව බලන් ඉන්නවා. ඔහොම හුස්ම සේරම යවල, විනාඩිය ඉවරවෙනවත් එක්කම ‘හොහ්’ ගාල ලොකු සද්දයක් දාල හුස්මක් පිටකරනවා. ඩොකා හිතන් ඉන්නේ මෙයා විනාඩියක්ම හුස්ම අල්ලන් ඉඳල තමයි ‘හහ්’ ගෑවේ කියල.

“වෙරි ගුඩ් ලං කැපැසිටි” ඩොක්ට කියනව

අනිත් කට්ටයා:

එයා ඇම්ඩන්ගේ අප්පච්චි.

එයා ලෝකෙට පෙන්නන්නේ එයා හෙනම දානපතිය කියලය. දුප්පතුන්ට පිහිට වෙන බව පෙන්නලා ලෝකේ හැම රටකින්ම මුදල් ලබා ගන්නවා. ටිකක් වගේ පිහිටත් වෙනවා. ඒ කිව්වේ දහදෙනෙකුට එන සල්ලි වලින් තුන් දෙනෙකුට විතර “පිහිට” වෙලා අනිත් ටික පොකට්ටුවට දා ගන්නවා. ඔහුගේ ධන පරිත්‍යාගයෙන් “පිහිට” ලබාගන්න කිහිප දෙනා අතර දොස්තරලා නර්ස්ල, අටෙන්ඩන්ට්ල වගේ අය අනිවා ඉන්නවා. ඉතින් උන්නැහේ තම වෘත්තීය ජීවිතය ආරම්භයෙ සිට අවසානය දක්වා කිසිදු විටෙක ලෙඩ නොවුණු ගුවන් නියමුවා හැටියට ඉතිහාස ගත වෙන බව කව්දෝ කියනවා ඇහුණා. පොරව අදහන්න වටිනවා කියලයි මම හිතන්නේ.

සිතුනායක

පනහ දශකය.

සිතුනායක, එවක කොළඹ පියසරි ඇකඩමියේ (Colombo Air Academy) ගුවන් නියමු ශිෂ්‍යයෙක්. නමුත් පළමුවෙනි (පුද්ගලික) බලපත්‍රය ලබාගත්තට පස්සේ ඔහුගේ දෙමව්පියන්ට මුදල් තිබුනේ නැහැ ඔහුව වුර්තිය ගුවන් නියමුවෙක් කරන්න. සිතුනායක ඉතාමත් දක්ෂ ගුවන් නියමුවෙක් වීමේ ලකුණු පෙන්වූ නිසා, ගුවන් පියසරි ආයතයේ ප්‍රධානියා වන අමරසේකර මහතා සිතුනායකට ශිෂ්‍යත්වයක් හදා දෙන්න උත්සාහ කරත් එයද හරි ගියේ නැහැ,

සිතුනායකේ ගජ මිතුරන් දෙදෙනා වික්රමනායක (විකී) සහ සෙනෙවිරත්න (සෙනෙවි). දෙන්නටම සිතුනායක ගැන ගොඩාක් දුක හිතුනා. තම මිතුරාට කෙසේ හෝ උදව් විය යුතු බව සිතුනත් ඔවුන්ටත් තිබුනේ සීමිත මුදල් ප්‍රමාණයක්.

“පව් බන් මට හරි දුකයි අපේ සිතුවා ගැන” විකී කියනවා

“දුකයි කියලා අපි මොනා කරන්නද බන්” සෙනෙවි කියනවා.

“අඩුම තරමේ සිතුට අපි ෆ්ලයි කරනකොට ගුවන් යානය හසුරුවන්න වත් චාන්ස් එකක් දෙමුද?” විකී අහනවා.

“අන්න නියම වැඩේ. දෙමු දෙමු” සෙනෙවි එක පයින්.

ඉතින් ප්ලෑන් එකට අනුව, විකී හෝ සෙනෙවි ටයිගර් මොත් ගුවන් යානය පදින වෙලාවට සිතුනායකට කියනවා ඒ වෙලාවට අදාළ ගුවන් ධාවන පථයේ කෙළවර ඉන්න කියල. ඒ කිව්වේ, ධාවන මාර්ගය අංශක 220 (Runway 22) නම් වේරහැර පැත්තෙත්, ධාවන මාර්ගය 040 (Runway 04) නම් ගාලු පාර පැත්තේ සිතුනායක හැංගිලා ඉන්නවා. ධාවන පථයේ අග්ගිස්ටම යන ටයිගර් මොත් යානය හිමින් ස්ලෝ ඩවුන් කරනවත් එක්කම සිතුනායක ඉස්සරහ සීට් එකට පනිනවා.

ගුවන් ගත වුනු ගමන් අංශක 90ක් හරවල ගුවන් පාලක මැදිරියට පොඩි වංගුවක් ගහන්න සෙනෙවියි විකීයි පුරුදු වුනා. ඉතින් එතැන් පටන් උඩු ගුවනේ විකීයි, සෙනෙවියි, සිතුනායක එක්ක පියාසර අභ්‍යාස බෙදාගෙන ප්‍රැක්ටිස් කරනවා. නැවත ගොඩ බාද්දී ධාවන පථයේ අග ඉලක්ක කරගෙන එන ගුවන් යානයේ තටුව උඩට නගින සිතුනායක යානයේ රෝද ධාවන පථයේ ස්පර්ශ වෙනවත් එක්කම බිමට පැන ගන්නවලු!

සැ . යු. ටයිගර් මොත් ගුවන් යානයේ සීට් තියෙන්නේ ටැන්ඩම් ක්‍රමයට (එකා පසු පස එකා). ගුවන් යානය පාලනය කරන ගුවන් නියමුවා පිටිපස ආසනයේත්, මගියා ඉස්සරහ ආසනයේත් තමයි අසුන් ගන්න ක්‍රමය.

ටික කලක් ඔහොම යනකොට කොහේදෝ යන ඉරිසියාකාර කේලමෙක් මේ විස්තරේ අමරසේකර අංකල්ගේ කනේ තිබ්බ. ආරංචි වුන ගමන් ටයිගර් මොත් යානයේ ඉස්සරහ තියන නියාමක යටිය (joy stick) ගලවා දමන්න ආයතනය තීරණය කරා.

“එයි විකී දැන් මොකද කරන්නේ” සෙනෙවි පුල් අප්සෙට් එකෙන් අහනවා.

“කිසි දේකට බයවෙන්න එපා මචන් මන් ගාව විසඳුම තියනවා” විකී කියනව

විසඳුම මොකක්ද?

වෙනද වගේම ‘සිතු’ ඉස්සරහ සීට් එකට පනිනවා. දැන් යානය ගුවන් ගත වුනාට පස්සේ, උඩු ගුවනේදී, පිටිපස්සේ සවි කරල තියන නියාමක යටිය ගලවල ඉස්සරහ ඉන්න සිතුනායකට දෙනවා හයි කරගන පැදපන් කියල. බහින්න කිට්ටුව සිතුනායක ආයෙත් යටිය ගලවල පිටිපස්සට දෙනවා.
කොහොමද ඒක!

මගේ උපදේශක ජයසේකර මහතාට අනුව පෙළක් දවස්වල ඉස්සරහ සීට් එකෙන් නගින සිතුනායක බහිනකොට පිටිපස්සේ සීට් එකේ ලු! අනිවා දෙදෙනා උඩු ගුවනේ සීට් මාරුකර ගත්ත බවයි ඔහු පැවසුවේ

සටහන: සිතුනායක රාජකීය ලංකා ගුවන් හමුදාවට (Royal Ceylon Air Force) බැඳිලා අති දක්ෂ ගුවන් නියමුවෙක් ලෙස ප්‍රකට වුනා. නිවාඩු දිනවල පියසරි ආයතනයට ඇවිත් ඔහුගේ යාලුවන්ට ගුවන් කරනම් ඉගැන්වූ බවයි ආරංචි. සෙනෙවි ඔහු පැදවූ චිප්මන්ක් ගුවන් යානය මුහුදට කඩා වැටී එම අනතුරෙන් මිය ගියා. විකී ජාත්‍යන්තර ගුවන් නියමුවෙක් වුනා. ඔහු පසු කලෙක එයා ලංකා ගුවන් සේවයේ සභාපති තනතුර දැරූ කව්රුත් දන්නා රඛිත වික්‍රමනායක මහතායි.

ලැන්ට

ලැන්ට — පලවෙනි ගුවන් සේවා ශතවර්ෂයේ වනැන් ඔන්ලිය.

ලැන්ට අපේ පියසරි පන්තියේ හිටපු ගොඩක් පොහොසත් පවුලක කොල්ලෙක්. උගේ ඇත්ත නම ලැන්ට නෙවෙයි. මොකද්දෝ පොෂ් නමක්. ඒත් ඉතින් අපේ පාසලේ ගේට්ටුවෙන් අතුල්වෙනවාත් එක්කම හැමෝම වගේ අනවර්ථ නමකින් බෞතීස්ම වෙන නිසා අපි ඇත්ත නම් දන්නැති එක සාධාරණය.

ලැන්ටගේ ජීවිතේ වෙන ඕනෑම සිද්දියක් ලොකුම ලොකු මයිල් කොයිල් කැටිගරියේ වුර්තාන්තයකි. ලැන්ටගේ ජීවත කතන්දර, නිකන් සිල්ලර ඒවා හෙම නෙමෙයි. අර ටයිටැනික් වගේ ත්‍රාසජනක ස්ක්‍රිප්ට්. හෙනම ඩ්‍රාම කිං කෙනෙක් වූ ලැන්ටගේ සිනමාවේ තිර රචනය, දෙබස් හෙම ලියන්නේ එයාමය. ඇත්තටම ලියනවට වඩා හුඟ වෙලාවට අනුන්ගේ එපිසෝඩ් කට් ඇන්ඩ් පේස්ට් කරලා ඒවා අනුකරණය කරන්න දක්ෂය.

ඔහොම ගිහින්, යන්තන් ඇටෙන් පොත්තෙන් බෙරෙනකොටම ලැන්ට උගේ නල දත හෙම පෙන්නල විරිත්තල, එයාපෝට් එකේ වැඩ කරන ගුම්භකභුතා වගේ අක්ක කෙනෙක් එක්ක සෙට් වුනා.

දවසක් මං උදේ පාන්දරම වදෙං පොරෙං නැඟිටගෙන ගුවන් ගමන් පාලක මැදිරියට බඩ ගෑවේ එදා දවසේ පියසරි සැලැස්ම බාර දෙන්නටය. ඒ දවස්වල රත්මලානෙන් ගුවන් ගතවෙන යානා වල නියමුවන් හෝ නියමු ශිෂ්‍යයන් පියසරි සැලැස්ම පුද්ගලිකව ගුවන් ගමන් පාලක මැදිරියට බාර දිය යුතුය. ඉතින් මම එදා පාන්දර කබ කඩ කඩ පාලක මැදිරියේ දොරට ගහනවා. ලොක්. ආයිත් ගහනව. එත් ලොක්. යතුරු හිලෙන් එබිලි බැලුවම ගුවන් පාලක මාමා තවම සරම පිටින් ප්ලේන්ටියක් බොනවා. උන්නැහේගේ උඩු කය නිරුවත්.

(ඉස්සර එහෙම තමයි. ගුවන් ගමන් පාලනය කියන්නේ දිවා රෑ සේවය නේ. ඉතින් අපේ පාලක මහත්වරු ඒ අයගේ නිවස යයි හඳුන්වන මැදිරිය තුල දිවිගෙවන්නේ ඉතාමත් නිදහස් සරල විදියටය. කොච්චර සරලද කිව්වොත්, දොර ඇරපු ගමන් අපව පිළිගන්නේ සිගරට් බට්, හිස් බියර් බෝතල්, පුටු උඩ පාට පාට ලංකට්, දැවී ගිය මදුරු කොයිල්, පල්වේච්ච කෝපි ගඳ සමඟ මුසුවුනු පඩගඳ වගේ සිත් ඇද ගන්නා සුළු දේවල්ය. ඒ හින්ද ශිෆ්ට් එක මාරු වෙන්න කස්ටිය එනකං ‘සේෆ්ටි’ එකට තමයි දොර ලොක් කරල තියෙන්නේ)

ටික වෙලාවකින් සරම ගැට ගගහ දොර ඇරපු පාලක මාම, පපුවේ මයිල් ඇද ඇද මට නොසෑහෙන්න බැනල පියසරි සැලසුම් කොලේ උදුර ගත්තේ සිරාවට මල පැනලය.

“යකෝ උදේ පාන්දර නිවී හැනහිල්ලේ තේ එකක්වත් බොන්ඩ දෙනවද තමුසෙලා අම්මප”

එතකොටම පාලක මැදිරියේ ලොකු වීදුරු පැනල් තුලින් පෙනුනේ ගුවන් හමුදාවේ යානයක් ගොඩ බහින්න ඔන්න මෙන්න බවය.

පාලක මාම ගුවන් යානයට ගොඩ බැසීමට අවසර දීල මාව එලවන්න හැරෙනවත් එක්කම, බස්සන්න ගිය හමුදා යානය “object on runway “ (ධාවන පථයේ යමක් ඇති බව) කියාගෙන ආයිත් උඩට නැග්ගුවේය

“මොකක්ද කිව්වෙ? බල්ලෙක්ද?” පාලක මාමා බිරුසන් දෙමින් ගුවන් යානයෙන් අහනවා

“පොඩ්ඩක් බලන්න. දැක්කේ කෙනෙක් වාඩිවෙලා ඉන්නවා වගේ” ගුවන් නියමුවා කියනවා

“මොකක්?”

“මම නැවත අප්‍රොච් කරලා බලන්නම්” නියමුවා කියනවා

ගුවන් යානය නැවත හරවා ඇවිත් පහතින් පියාසර කරන ගමන් “ඔව් කව්දෝ මනුස්සයෙක් ධාවන පථයේ මැද වාඩි වෙලා ඉන්නවා” කියාගෙන නැවත නග්ගනවත් එක්කම, පාලක මාම කඩි මුඩියේ දුර දක්නය අස්සෙන් බලල “ බ්ලඩි හෙල්” කියා බෙරිහන් දුන්නේය.

මැදිරියේ ජනේලයක් විවර කල පාලක මාමා “ බලනවා බලනවා අයිසේ අර ඉන්නේ තමුසෙල දන්න එකෙක්ද” කියා මගේ හොම්බ දුර දක්නයට තල්ලු කළේය

මේ වෙනකොට නැගී එන හිරු එළියෙන් පෙනුනේ තම මුහුණ කමිස අතෙන් පිස දමමින් ධාවන පථයේ මැද වාඩි වී ඉන්න කෙනෙක්ය. තව ටිකක් ෆෝකස් කර බැලින්නම් දෙයියෝ සාක්කි! ඒ ඉන්නේ අපේ ලැන්ට නේද?!

“මළ කෙලියයි මොකක්ද මේ මනුස්සය මේ කරන්න හදන්නෙ?” කියා සිතනවත් එක්කම පාලක මාම පහල ගිනි නිවන හමුදාවට කෝල් කෙරුවේය. ලයින් එක කට් කරනවත් එක්කම “ඔවෑන් ඔවෑන් ඔවෑන් “ ගාමින් ධාවන පථය මැද්දට ගිය ගිනි නිවන හමුදාවේ පිකප් රථය අපේ ලැන්ටව කුණු කරෝල කෑල්ලක් වගේ උස්සල රථයට දාගත්තේ අපි හැමෝටම මාර ත්‍රිල් එකක් දෙමින්ය.

මේක ආරංචි වුනු ලැන්ටගේ ඩඩාට අම්බානක ඩෝන් ගියේය. පැයකින් විතර එයාපෝට් එකට වැඩපු උන්නෙහෙ ආපු ගමන් ලැන්ටගේ කන අතගාල හෙම පාලක මැදිරියේ මාමල, උපදේශක මාමල, ගිනි නිවන මාමල, ගිනි තියන නැන්දල ආදී මෙකි නොකී සයින්ද පී සකබෝනලගෙන් සමාව ගත්තේ ඔහුගේ පුතණ්ඩියාගේ “දීප්තිමත් අනාගතය” අඳුරුවූ බව කියමින් නහයෙන් අඬමින්ය.

විනය පරීක්ෂණය වෙලාවේ, ප්‍රශ්නේ අල ගිය මුල ගිය තැන විමසු වෙලේ සොයාගත් දත්ත අනුව, අර ගුම්භකභුතා, ලැන්ටව, උපරිම ප්‍රේමයෙන් මන රංජිත වී නන්දිත වෙන තැනට ගෙනල්ල, නින්දිතව බූට් එක දුන්න බවයි හෙළිවුණේ. ඉතින් ඒ දුක වාව ගන්න බැරුව, මේ යකා, සාම්ප්‍රදායිකව දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබුණු ‘කෝච්චියට බෙල්ල තියන’ ක්‍රියාවලිය , ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතට කට් ඇන්ඩ් පේස්ට් කරලා!

තව පොඩ්ඩෙන් ටීවී එකේ එෂැණිං පුවක්!

මයිලෝ මන්නාරම් ගිය හැටි

පරංගියා කෝට්ටේ ගිය හැටි අහල තිබුනට මයිලෝ මන්නාරම් ගිය හැටි අහල නැහැ නේද? ඒ කතාවත් කියලම දාමුකෝ එහෙනම්.

මයිලෝගේ කතාව ඇරඹෙන්නේ චීන වරායේ ගුවන් නියමු පුහුණු පාසලෙන්. ඒ දශක හතරකුත් තවත් ටිකකට පෙර කලකදීය.

හමුදාවේ ඉහල නිලදාරියෙක් වුනු තම පප්පා හදා දීපු නැකතට මයිලා දකුණු පය ඉස්සරහට තියල චීන වරායේ ගුවන් නියමු පුහුණු පාසල බලා පිටත් වෙන්නේ පප්පගේ උවමනාවට මිසක් උගේ ආසාවකට නොවේය.

මෙලොව කිසිම දේකට උනන්දුවක් මයිලෝට නැත. උගේ හිස් කබලේ වයර් අමුණලා තියෙන්නේ ‘වා නා වා පෝ නා පෝ ‘ සෙන්සර් සිස්ටම් එකට නිසා කෙල්ලෙක් ගැනවත් උනන්දුවක් නැත. මිස් වර්ල්ඩ් උගේ ඔඩොක්කුවට පතබෑ වුනත් වැඩක් නැත. ඒ මයිලෝගේ හැටිය. “මේ යස්සය බෝයිකොට් කෙනෙක්වත්ද මන්දා” එක නසරානි කෙඩෙට් කොල්ලෙක් කියනවා ඇසුනි.

සැ.යු: මයිලෝට ඇත්ත නමක් තිබුනත්, ඔහුට මයිලෝ නම පටබැඳුනේ ඔහු තේ, කෝපි, හෝර්ලික්ස්, නෙස්ටමෝල්ට් වැනි ඕනෑම උණුසුම් බීමක් මයිලෝ ලෙස හඳුන්වන නිසාය.

දවසක් හවස පන්ති නිම වී මයිලෝ එකක් ගහමින් සිටි මයිලො ලඟට පැමිණි ඔහුගේ උපදේශකතුමා, එළඹෙන සිකුරාදා තම ‘රට හරහා’ කරන පියසරි අභ්‍යාසයට සුදානම් වෙන ලෙස දන්වා එතනින් පිටවුනේ මයිලෝගේ පිඟානේ තිබුණු අලුව කෑල්ලත් කටේ දාගෙනය. වෙන කැඩෙට්ලා මේ අභ්‍යාසය කරන්න දත කට මැදගෙන හිටියත් මේ හාදයා ඇවිල්ල ඒ ජාතියෙ පැෂනේට් පයිලට් කෙනෙක් නොවන බව උපදේශකතුමාත් හොඳින් දන්නා කරුණකි. ‘පප්පා නිසා කන කට්ටක්’ යයි සිතමින් මයිලෝ කෙරෙහි අනුකම්පාවක්ද උපදේශකතුමාගේ සිතෙහි වරින් වර හටගත්තේය.

එදා සිකුරාදා උදේ පාන්දර ගුවන් යානයට නැග, එතුල හරිබරි ගැහුණු මයිලට උපදේශකතුමා ගුවන් යානය වෙත පැමිණ නැවත නැවතත් කියා සිටියේ පියාසර ගමන් මාර්ගය අනුරාධපුර සහ වවුනියාව හරහා බවත් , යම් අපහසුතාවයක් හටගතහොත් නැවත හරවා චීනවරයට එන ලෙසත්ය.

අභ්‍යාසයේ පලවෙනි කොටස කිසිම අප්සැට් එකක් නැතිව පියාසර කල මයිලෝ අනුරාධපුරය වටේ පොඩ්ඩක් කරකැවී වවුනියාව දෙසට හැරෙනවත් එක්කම දුටුවේ වම්පස දුම්රිය මාර්ගයයි. සිතියම සමඟ සංසන්දය කල විට දුම්රිය මාර්ගය වවුනියාව පසුකර යාපනය දක්වා යනබව දුටු ඔහුට මාර ආතල් එකක් ඇතිවිය. “සිතියම් බල බල බෙල්ලට තවත් ව්‍යායාම දෙන්නේ මොකටද” සිතමින් ඔහු පියාසර සිතියම සීට් එක පිටුපසට විසි කර රේල් ට්‍රැක් එකට සමාන්තරව අල්ලාගෙන බයක් සැකක් නැතුව පියාසර කලේ විසිල් එකකුත් ගසමින්ය.

ටික වෙලාවකට පස්සේ මයිලෝ පාලක මැදිරිය අමතා තමා වවුනියාව බලා කරදරයක් නැතුව යන බව දැනුම් දුන්නේය. ඇමතුම විසන්ධි කර සෑහෙන වෙලාවකට පසුව පියවි ලෝකෙට නැවත පිවිසෙනවත් එක්කම මයිලොට හීන් දාඩිය දැම්මේ ඔහුට ලංවෙන්න හදන මහ මුහුද දැක්කමය! ‘යකෝ වවුනියාවේ කොහෙද මුහුදක්?’ මයිලෝගේ මනස සීග්‍රයෙන් භ්‍රමණය වෙන්න ගත්තේය.

හිස් මුදුනෙන් ඇරඹ කොපුල් තල මතින් ගලා හැලෙන දහදිය එක අතකින් පිස දමමින්, අනික් අතින් ගුවන් යානය හසුරුවන මයිලෝ “මොකද කරන්නේ? මොකද කරන්නේ?” පැට්‍රොල් බින්දුවටම බැස්සොත් මහ ජංජාලයක් වෙලයි කෙළවර වෙන්නෙ” සිතමින්, කරන මගුලක් ගුවන් යානයේ එන්ජිම උද්ගෝෂණය කරන්න ඉස්සෙල්ල කල යුතු බව වටහාගෙන, ක්ෂණික තීරණයක් ගත් මයිලෝ චිප්මන්ක් ගුවන් යානය දක්ෂ ලෙස හසුරුවමින් යානය තල්ලඩි යුද හමුදා කඳවුර අසල වෙරළට ගොඩ බෑවේ අවට සිටි කොලු කුරුට්ටන්ගේ සිට අඹ නාකියා දක්වා සියලු දෙනාටම ෆන් එකක් දෙමින්ය.

තම මනස ෆුල් අප්සට් තත්ත්වයක තිබුණත්, මයිලෝ ගුවන් යානයෙන් බැස, තල්ලඩි වෙරළේ සුදු වැලි මත බරට අඩිය තිබ්බේ ගගනගාමියෙක් හඳ මත පා තබන්නා සේය. ඒ අස්සෙ අලි මදිවට හරක් කියල බබලත්තු හතර පස් දෙනෙක් ගිරිය යටිං කෑගසා ඔහුව පිළිගත්තේ මයිලෝ සැලකිය යුතු මට්ටමකින් කාන්තාවන්ගේ සිත් බැඳ ගතැකි සිහින් උඩු රැවුලක් සහිත ඩයල් එකක හිමිකරු වීම නිසා විය හැකිය.

කහපැහැ දසන් පෙන්වමින් ලජ්ජාවෙන් බබලතුන්ට සිනාසුනු මයිලෝ යුධ හමුධා කෑම්ප් එක තුලට රිංගා එහි අණදෙන නිලධාරි හමුවී, තමා අහවලාගේ පුතා බවත්, ෆ්ලයිට් එක මේ විධියට චොරයක් වුනු හැටි හිතා ගන්න බැරි බවත්, තම උපදේශක තුමාට කෝල් එකක් ගත යුතු බවත් කීවේය. අණදෙන නිලධාරි තුමෝ මයිලගේ පප්පගේ නම ඇසු සැනින් කඩේ වෙනුවට කෙලින්ම සුපමාකට් එකටම ඇද්දේය.

එදින දහවල් තල්ලඩි හමුදා කඳවුරට සේන්දු වුනු මයිලෝගේ උපදේශකතුමාගේ ඇස ගැටුනේ කෑම්ප් එක තුල සැප පුටුවක දිගාවී, ෂපාන් එකේ බියරයක් තොල ගාමින් සිටින තම කැඩෙට් බුවාය!

වැඩි කතාබහක් නැතිව උපදේශකතුමා කෙලින්ම වැඩේට බැස්සේය.වැල්ලේ එරී තිබුණු ගුවන් යානය කෑලිවලට ගලවා ලොරියකින් ප්‍රවාහනය කල හැකි වුවත්, උපදේශකතුමා එම අදහස පසෙකලා, යානය කෙසේ හෝ වෙරළෙන්ම ගුවනට නැග්ගවීමට තීරණය කළේය. එයට හමුදාවේ සහාය ඇතිව වෙරළේ තෙත් වැලි උදලු ගා පැතලි කල පසු ඔහු එන්ජිම පනගන්වා, එන්ජිම රෙව් කරන අතරේ හමුදා භටයින්ට දෙපැත්තේ තටු දෙකේ එල්ලී බර දාන්න නියෝග කළේය. ඉන් අනතුරුව උපදේශකතුමා අත් සඥාව දුන් විගස හමුදා භටයින් තටු දෙක එකවර අතහරිනවාත් සමගම ගුවන් යානය නැග්ගවීමට ඔහු සමත් විය.

මයිලෝ ෂපාන් එකේ හමුදා ලොරියේ පිටුපස දිගාවී චීන වරායට එනකම් නිදා ගත්තේය. විණය පරීක්ෂණයේදී අනාවරණය වුනේ මයිලෝ අනුරාධපුර සිට වවුනියාව දෙසට දුම්රිය මාර්ගයට සමාන්තරව ගියාට, මැදවච්චියේදී මාර්ගය දෙකට බෙදී, වමේ ට්‍රැක් එක තලයිමන්නාරමට යන බව මීටර් නොවීම නිසාත්, ශරීරයේ අලස ජාන වැඩි බැවින් සිතියම හෝ තම නහය ඉස්සරහ තියන මාලිමාව දෙස බලන්න ඇති මුග්ධත්වය නිසාත් මෙම අකරතැබ්බයට මුහුණ දීමට සිදුවූ බවය.

--

--