පුනරුප්පත්තිය

Menaka Ashi Fernando
4 min readOct 13, 2022

පුනරුප්පත්තිය “විය හැකි”සිද්ධීන් කිහිපයක් පිළිබද අපේම අත්දැකීම් ගැන පුංචි සටහනක්.

මගේ සැමියා — චිරානන්ද (ඔහුව බොහෝ අය දන්නේ ‘චිරා’ යන කෙටි නාමයෙනි) වයස අවුරුදු තුනක් විතර කාලේ කොහේ හරි ලොකු සද්දයක් ඇහුනොත්, එහෙමත් නැත්තම් ගුවන් යානයක් උඩින් ගියොත් “බොම්බ්! බොම්බ්!” “ඩක්” “ඩක්” (නැමෙන්න) කියමින් මේසයක් හෝ ඇඳ යට හැංගෙනවාලු. ගෙදර අයට මේක ප්‍රශ්නයක්. මේ ළමය කොහොමද ‘බොම්බ්’ කියන වචනේ දන්නේ? ඒ දවස්වල ලංකාවේ බෝම්බ දාන තරම් යුද්ධ තිබුනේ නැහැ. TV තිබුනේ නැහැ. බෝම්බ කතන්දර කියවන්නත් ළමය පොඩි වැඩියි. ඉතින් මොන්ටසුරි යනකල්ම මෙහෙම හැසිරුනාලු.

Fast Forward

ඉස්කෝලේ දවස්වලත් චිරාට තිබ්බේ ප්ලේන් පිස්සුව. මේ නිසාමද කොහෙද චිරා පාසලෙන් අස්වෙලා බැඳෙන්නේ ගුවන් හමුදාවට. (ඒ දවස්වල රාජකීය ගුවන් හමුදාව). පුහුණු වීම සඳහා ඔහු පිටත්වන්නේ එංගලන්තේ ලින්කන්ෂයර්හි ක්‍රන්වෙල් රාජකීය ගුවන් හමුදා පුහුණු කඳවුරටය.

ජෙට් ප්රෝවොස්ට් [Jet Provost] ගුවන් යානයෙ ප්‍රාථමික වැඩ නිමා කර දැන් ඔහු උපදේෂකවරයා සමඟ පලවෙනි දිගු පයසරි අභ්‍යාසයටයි සුදානම් වෙන්නේ. ගුවන් මාර්ගය කොනින්ස්බි [Coningsby] , බින්බ්රුක් [Binbrook], විකන්බි [Wickenby] හරහා නැවත ක්‍රන්වෙල් වෙතය.

ගුවන් ගත වෙලා ටික වෙලාවකින් උපදේශකවරයා චිරා දෙස මවිත වෙලා බලන්නේ ඔහු කෙලින්ම කොනින්ස්බි දෙසට ගුවන් යානය හරවා යන හැටිය. ඊට පස්සේ බින්බ්රුක් වලට හරවන්නෙත් සිතියම බලන්නේ නැතුවලු. සම්පුර්ණ අභ්‍යාසය කරල නැවත රිටර්න් එන්නෙත් එක වරක් හෝ සිතියම බලන්නේ නැතුවලු.

නැවත ගොඩ බැස්සට පස්සේ ගුවන් යානය තුලම රැඳිලා අනිමිස ලෝචනයෙන් චිරා දිහා බලන් ඉඳල එක පාරටම උපදේශකතුමා අහන්නේ:
“කරුණාකරලා මට ඇත්ත කියන්න. ඔයා මීට ඉස්සරවෙලා ලින්කන්ෂයර් වල පියාසර කරලා තියනවද?
“නො සර්. නෙවර්”

චිරාගේ සිතෙ යම් යම් ප්‍රශ්ණ පැණනොනැඟුනේ නොවේ. සමහර විට ඒ පිළිබඳව බොහෝ ගැඹුරින් කල්පනා කරන්න ගන්න කොට, හිස සොළවා අනවශ්‍ය සිතුවිලි සිතින් පළවා හරින්න එයා පුරුදු වුනා.

ඒ සති අන්තයේ චිරා කෑම්ප් එකෙන් එලියට යන්නේ ලින්කන් ටවුමේ පොඩි පෞද්ගලික වැඩ වගයක් කරගන්න කියලා. ඒ ඔහු ලින්කන් ටවුමට යන පලවෙනි වතාවයි. බස් එකෙන් බැහල ඔහු ඉබේම වගේ නෙට්ල්හම් [Nettleham] වීදිය දෙසට හැරෙනවා. ඇවිදින ගමන් වට පිට බලන ඔහු කලපනා කරනවා “මේ ටවුමේ මම ගමන් කරන පලවෙනි වතාවද? සමහර බිල්ඩින් සහ කුඩා වීදි දිහා ඇසි පිය නොහෙලා බලා ඉන්නවා.

ටික වෙලාවකින් අතරු වීදියකට හැරිලා ඔහු ගොඩ වෙන්නේ “හොඳින්ම හඳුනන” බේකරියකටයි. චිරා බේකරියේ අංකල් දිහා බලල “හෙලෝ ෆිට්සි” කියනවා. අවුරුදු පනහක් පමණ වයසැති ෆිට්සි (ෆිට්ස්ජෙරල්ඩ්) ඇස් ලොකු කරල අහන්නේ “හැව් වී මෙට්?” කියල. ඔහු දෙස මොහොතක් බලා සිටි චිරා දෙනෙත් පහතට යොමු කරලා මොකුත් නොකියා ළඟ පුටුවක අසුන් ගන්නවා.

ෆිට්සි ඔහුට තේ එකකුයි, ස්කොන්ස් වගයකුයි ගේනවා. බන්දේසියේ ස්කොන්ස් දිහා බලන් උන්නු චිරා හිමින් “එල්ස’ කියා මුමුනන්නේ ෆිට්සිගේ තොල කට සුදුමැලි කරමින්ය.

“මම මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. එල්ස මගේ අම්ම. ඔයා එයාව දන්නේ කොහොමද?” ෆිට්සි එහෙම කිව්වේ තම කටහඬෙ තැතිගත් ස්වභාවය වසන් කිරීමට අසාර්ථක උත්සාහයක් කරලයි. චිරාගෙන් ලැබුනේ නිහඬ ප්‍රතිචාරයක් පමණය.

තේ එක විතරක් බීල පුටුවෙන් නැඟිට්ට චිරා “එහෙනම් මම ගිහිල්ල එන්නම්. තේ එකට කීයද?”

“නැහැ නැහැ මුදල් එපා. ඔයා මොන රටෙන්ද?” ෆිට්සි උගුර යටිං ඇහුව.
“සිලෝන්”

Fast Forward

චිරා ගුවන් හමුදාවෙන් අයින් වී සිවිල් ගුවන් සේවයට පිවිසෙන්නෙ ‘එයා ලංකා’ ගුවන් සේවයේ L 1011 ට්‍රයිස්ටා ගුවන් යානයේ පළමු නිලධාරි ලෙසයි.

එදා ෆ්ලයිට් එක ඩුබායි හරහා ලන්ඩන් ගැට්වික් වෙතයි. ලක්සම්බර්ග් පසු කර ප්‍රංශය උඩින් පියාසර කර “කැලේ” (CALAIS) පසුකරනවාත් සමගම ඔහු දකුණු පස මුහුදු තීරය පෙන්වා “ මෙතන තමයි මගේ ගුවන් යානයට වෙඩි වැදුනේ” කියනවා. බ්‍රිතාන්‍ය ජාතික කපිතාන් වරයා සහ ඉන්දියානු ජාතික ඉංජිනේරුවරයා එක වරම “මොකක්?” “කවද්ද?” “කව්ද වෙඩි තිබ්බේ?” “මොකක්ද ගුවන් යානය?” “ඔයා විහිළු කරනවද?” වගේ ප්‍රශ්න ගොඩක් අහන්න ගත්තත්, ගැට්වික් ලඟාවෙන බැවින් එවෙලේ තිදෙනාම යානය හසුරුවීමේ කාර්යය කෙරෙහි දැඩිව සිත යොමු කලේය.

මතකයන් පිළිබඳව සෑහෙන වෙලාවක් අධ්‍යයනය කරල, පූර්ණ වශයෙන් සෑහීමට පත් වීමකින් පස්සේ මට ඒ පිළිබඳව විස්තර කියන චිරගේ මුවින් එදා මේ කමෙන්ට් එක ඉබේම පිටවුනේ එයාටත් හිතාගන්න බැරි විදිහට.
සත්‍ය වශයෙන්ම ඔහු පුනරුත්පත්තියක් ගැන කිසිවිටෙක නොසිතුවේ ඔහු සිරාම ක්‍රිස්තියානි පවුලක කෙනෙක් නිසා විය හැකිය. එසේත් නැතහොත් ඒ පිබඳව සිත් මෙහෙයවීමට ඔහුට අවශ්‍යතාවයක් හෝ කාල වේලාවක් හෝ නොවෙන්න ඇත.

ඒ ෆ්ලයිට් එකෙන් පස්සේ ඔහු ලන්ඩන් වලින් නැවත පිටත්වන්නේ පුනරුත්පත්ති ගැන සිතුවිල්ල හිතේ පතුලෙම තියන යකඩ සේප්පුවකට දාල ඉබ්බෙකුත් දාලයි.

Fast Forward

2011 වසරේ දවසක් සිංගප්පුරුවේ අපේ නිවස ළඟ බස් හෝල්ට් එකේ ඉන්නකොට ටිබෙට් ජාතික හිමි නමක් ඇවිත් අපි අසලම වාඩි වුනා. ඔහු චිරාගේ කකුලේ ඇති කළු දිග උපන් ලපය දෙස බලන් ඉන්නවා. මම උන්වහන්සේට කිව්වා “ඉට්ස් අ බර්ත් මාක්” කියල. උන්වහන්සේ හිනාවෙලා කිව්වා “ඔවු දැන් උපන් ලපය තමයි නමුත් කලින් ආත්මයේ ලොකු තුවාලයක්. බොහෝ දුරට වෙඩි වැදිච්ච තුවාලයක්” කියල.

ටික කලකට පස්සේ චිරා ‘පාස්ට් ලයිෆ් රිග්‍රේෂන්” එකක් කරන්න එකඟ වුනා. (මෙය මෝහනය කිරීමක් නොවේ) එවෙලේ ඔහු නිතරම “ෆ්ලෑෂ්” වෙන දර්ශන ආයෙත් දැක්ක. දෙවන ලෝක යුද්ධය කාලේ ඔහු ගුවන් නියමුවෙක්. ඔහුගේ ගුවන් යානයට, ග්‍රවුන්ඩ් එකෙන් වෙඩි වදිනවා. හානි වුනු යානය හසුරුවා ඔහු ඩෝවර් පැත්තේ ක්‍රෑෂ් ලෑන්ඩ් කරනවා ඔහු දකිනවා. එවෙලේ ඔහු මැරෙන්නේ නැති බවත් ඔහු දකිනවා.

මේ අත්දැකීම් වලින් පස්සේ අපි ආචාර්ය ඉයන් ස්ටිවන්සන්ගේ රිසර්ච් කියවල පුනරුත්පත්තිය ගැන ගොඩක් ඉගෙන ගත්ත

--

--